August 27, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ධුර කාලය අවසන් වූ පසුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රිපීටර් ෂොට්ගන් තුවක්කු දෙක බැගින් තබා ගැනීමට ලබාදුන් තීරණයට පාර්ලිමේන්තුව සම්බන්ධ නැති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රිපීටර් ෂොට්ගන් තුවක්කු දෙක බැගින් තම පෞද්ගලික මුදලින් මිලදී ගැනීමටත්, ඔවුන් නිලයෙන් ඉවත් වූ පසුවත් ඒවා රඳවා තබා ගැනීමටත් අවසර දෙන බව ආරක්ෂක අමාත්‍යාංශය පසුගියදා පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීරට දැනුම් දී තිබිණි.

ධුර කාලයෙන් පසු මන්ත්‍රීවරුන්ට තුවක්කු ළඟ තබා ගැනීමට අවසර දීමට ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් කථානායකවරයා කියා සිටියේ, තමාට ඒ ගැන ප්‍රශ්නයක් නොමැති අතර එම තීරණය ගෙන ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් බවයි.

අමාත්‍යාංශය එම තීරණයට පැමිණියේ පාර්ලිමේන්තුව විසින් කරන ලද ඉල්ලීමකට අනුව නොවන බව ද ඔහු සනදහන් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ළඟ තබාගත යුතු රිපීටර් තුවක්කු සඳහාද වාර්ෂිකව බලපත්‍ර ලබාදිය යුතුය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආකෘති තුනකින් තෝරා ගැනීමේ හැකියාව පවතින බව ද වාර්තා වේ.

කෙසේවෙතත්, තුවක්කු වෙනත් පාර්ශ්වයකට මාරු කිරීම සහ ඒවා පාර්ලිමේන්තුවට සහ වෙනත් ජනාකීර්ණ ස්ථානවලට රැගෙන යෑම ද තහනම් කර ඇත.

මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දැනට ක්‍රියාත්මක විධිවිධාන අතරට පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු බැගින් සිටීම, පිස්තෝල ලබාදීම සහ ඔවුන්ගේ නිවෙස් අවට පොලිස් මුර සංචාර ක්‍රියාත්මක කිරීම ඇතුළත් වේ.

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව වැඩි වශයෙන් කතාබහට ලක්ව තිබුණේ 2022 මැයි 9 වැනි දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50කට වැඩි පිරිසකගේ නිවාස ඇතුළු දේපළවලට ගිනි තැබූ සිද්ධියෙන් පසුය.