April 26, 2024

ශීඝ්‍රගාමී දුම්රියවල පා පුවරුවේ ගමන් කිරීම සපුරා තහනම් බවත් එසේ ගමන් කරන දෙස් විදෙස් සංචාරකයන් මුහුණදෙන කිසිදු අනතුරක් සම්බන්ධයෙන් වගකීම භාර නොගන්නා බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් මෙම පැහැදිලි කිරීම සිදුකර ඇත්තේ ඒ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි රැසක් සැළකිල්ලට ගනිමිනි.

දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ විශේෂයෙන් උඩරට දුම්රියවල දෙස් විදෙස් සංචාරකයන් පා පුවරුවේ නැගී ගමන් කරන අවස්ථා කිහිපයක් ද වාර්තා වී ඇති බවයි.

මෙම ගැටලුව විසඳීම සඳහා පුද්ගලයන් පා පුවරුවේ ගමන් කිරීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස දුම්රිය නියාමකවරුන්ට සහ දුම්රිය තුළ සිටින අනෙකුත් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

“දුම්රිය නිලධාරීන් මේ කාරණය දැනුම්දුන්නත් පා පුවරුවේ ගමන් කිරීමෙන් වළකින ලෙස සංචාරකයන්ට ඒත්තු ගැන්වීම ඉතා අපහසුයි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් නිලධාරීන්ගෙන් තමන්ට හිරිහැර වූ බවට දුම්රිය දෙපාර්තමේන්තුවට නැවත පැමිණිලි කරනවා. ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන සේවාවන් පිළිබඳ සමාජ මාධ්‍යවල ඔවුන් නරක අදහස් පළ කරනවා,” යනුවෙන් එම නිලධාරියා පැවසීය.

පා පුවරුවේ ගමන් කිරීම සම්බන්ධයෙන් දැනට නීති රීති හෝ කොන්දේසි නොමැති බව පැවසේ.

කෙසේවෙතත්, රිය අනතුරු සම්බන්ධයෙන් වගකීම භාර නොගන්නා බව එම දෙපාර්තමේන්තුව පැහැදිලි කරයි.

ආසන්නතම සිදුවීම ලෙස පසුගිය ඉරිදා (21) ඔහිය දුම්රිය ස්ථානය අසලදී විදේශික කාන්තාවක් පොඩි මැණිකේ සීඝ්‍රගාමී දුම්රියෙන් වැටී තිබිණි.

එලෙසම මීට මාසයකට පමණ පෙර ඉරාන සංචාරකයකුද මෙවැනිම සිදුවීමකින් බරපතළ තුවාල ලබා තිබිණි.

 

42.31%
17.27%
32.76%