July 25, 2024

මීට වසර දෙකකට පෙර ගාල්ලට පැමිණ තමන්ට ප්‍රතිපත්‍තියක් නොව ප්‍රතිපදාවක් පමණක් ඇතැයි පැවසූ බවත් එම ප්‍රතිපදාව වෙනුවෙන් වර්තමානයේ මුළු රටක් එකට එක්ව තිබෙන බවත් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර පැවසීය.

‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහනේ ගාල්ල දිස්ත්‍රික් වැඩසටහනට සමනල ක්‍රීඩාංගණයේදී ඊයේ (24) එක්වෙමින් ඇමැතිවරයා ඒ බව සඳහන් කළේය.

කිසිදු භේදයකින් තොර සියලු දෙනා ඒකරාශී වූ ගාල්ලෙන් අරඹන රැල්ල පිළිබඳ අදහස් අදක්වමින් ඇමැතිවරයා පැවසුවේ “අද පක්ෂ වලංගු වෙන්නේ නැහැ. පාට ජාති ආගම් වලංගු වෙන්නේ නැහැ. ඒවා තිබිය යුතුයි. නමුත් රට වෙනුවෙන් ප්‍රතිපදාවක් විදියට මිනිස්සු අද එකතු වෙන්න පටන්ගෙන තියෙනවා,” යනුවෙනි.

“මේ රටට එවන්න එපා කියපු ඩොලර් ටික මිනිස්සු ගැන හිතලා එව්ව විගමනික ශ්‍රමිකයන්ට ගාල්ලේ මගේ පුරවරයේ ඉඳලා දෑත් ඔසොවා ආචාරය පුද කරනවා. රට ගොඩනගන්න ඔබ දුන් හයිය නොවන්නට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අවුරුදු දෙකක් ඇතුළත මේ රට ගොඩගන්න වෙන්නේ නෑ. එතුමා කිව්වා අත්පොලසන් දිය යුත්තේ එතුමට නොවේ, ඔබට සහ කරදර ඉවසා දරාගෙන සිටි මිනිසුන්ට බව, ” යැයි ද ඔහු සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ පැවසීය.

“අද අවුරුදු දෙකක් යනකොට මේ ආගාධයෙන් ගොඩ ඒමට පුළුවන් වීම ගැන අපි සතුටු වෙනවා විතරක් නෙමෙයි කණ්ඩායමක් විදියට අපි ආඩම්බර වෙනවා. ගාල්ලේ කට්ටිය ඒ කාලේ කිව්වේ මේක ගොඩනගන්න බෑ කියලයි.”

“ආණ්ඩුවට දෙන්න බැරි ඉල්ලීම් කරලා, වර්ජන කරලා, ගර්ජන කරලා, මිනිස්සු පාරට බස්සලා අන්තිමේ දුම්රිය වර්ජනයෙන් ජීවිතයකුත් නැති කරලා දේශපාලනය කළා. අපි ඒ ක්‍රමයෙන් වෙනස්. අර්බුදවලදී ගොඩ යන්න හදන අයට අර්බුදවලින් ගොඩ යන්න බැහැ. අර්බුදයට විසඳුම් ලබාදීම තමයි අපේ ක්‍රමය කියන එක අපි පෙන්නුවා. පක්ෂ පාට වලට බෙදලා කරන දේශපාලනය නෙවෙයි, රටට ඕනි කරන විසඳුම. ජාතියක් විදිහට එකට එකතු වෙන එකයි විසදුම කියලා අපි අවුරුදු දෙකක් ඇතුළත පෙන්නුම් කළා ඒකෙ ප්‍රතිඵලයක් හැටියට අපි අවුරුදු දෙකක් ඇතුළත මේ රට ගොඩනැගුව විතරක් නෙවෙයි, අපි අදටත් හෙටටත් දේශපාලනය කරන්නේ නැහැ. රට ගොඩ නඟන ව්‍යාපාරයක් විතරයි අපි කරන්නේ. රට දින වන ව්‍යාපාරයක් විතරයි අපි කරන්නේ කියන එක අපි මතක් කරනවා. සමහරු කියනවා අපි ඡන්ද තියන්නේ නෑ, රැලිවලට බයයි කියලා. අපි කියන්නේ ඔය රැලි ඉතින් මුහුද වගේ තමයි. රැලි එනවා, රැලි යනවා, රැළි බිඳෙනවා. අලුත් රැල්ලක් තමයි අපි අද ගාල්ලෙන් පටන් ගන්නේ. ඒ තමයි යළි රට නොවැටෙන්න, ඔබ සියලු දෙනා එක්ක එකට අත්වැල් බැඳගෙන රටක් විදියට ගොඩනැගෙන රැල්ලයි අපි මේ ආරම්භ කරන්නේ. ඒකට පාට නෑ, පක්ෂ නෑ, ඒකට කුල ජාති ආගම් නෑ. සියලු දෙනා එකට එකතු වෙලා රාජ්‍ය නිලධාරීන් දේශපාලනඥයින් සියලු දෙනා එකතු වෙලා ජාතික ව්‍යාපාරයක් ආරම්භ කරනවා. ජයගම ශ්‍රී ලංකා කියන්නේ සිහිනයක් නෙවෙයි. පාට පක්ෂ ජාති කුල මල පැත්තකට දාලා තමන් තමන්ගෙන් පටන් ගත්තොත් මේ ජයගමු ශ්‍රී ලංකා කියන්නේ සිහිනයක් නෙවෙයි, යථාර්ථයක්. ඒ වෙනුවෙන් රැල්ල පටන් ගමු අද ගාල්ලෙන්.”

42.31%
17.27%
32.76%