42.31%
17.27%
32.76%
September 26, 2023

සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා ගිය මෙරට ගෘහ සේවිකාවකට යකඩ කොන්ක්‍රීට් ඇණ පහක් සහ රෙදි වියළීමට උපයෝගී කරන යකඩ ස්ප්‍රීන් කැබැල්ලක් ද ගිල්ලවා කුසේ ඇණ සමඟ ලංකාවට පැමිණි පුවතක් මාතලේ, ඇල්කඩුව ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

සෞදි රෝහලක සේවය කරන වෛද්‍යවරයකුගේ සෘජු මැදිහත්වීම මත මෙම ගෘහ සේවිකාව තානාපති කාර්යාලය හරහා මීට දින කිහිපයකට ඉහත දී ලංකාවට ගෙන්වාගැනීමට හැකි වී තිබේ.

මෙසේ යකඩ ඇණ ගිල්ලවා ඇත්තේ සෞදි අරාබියේ තායිඩ් ප්‍රදේශයේ ගෘහ සේවිකාවක ලෙස සේවය කරමින් සිටි මාතලේ ප්‍රදේශයේ ඇල්කඩුව තේ වත්තක ජීවත් වූ එම්.එස්. ත්‍යාගා සෙල්වි නමැති විසිඑක් හැවිරිදි එක්දරු මවකි.

තම දියණියට සිදු වූ මෙම අපරාධය පිළිබඳව ඇයගේ මව තයාගු කුමාරි වත්තේගම පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළ බව සඳහන් කර සිටියාය.

පසුගිය ජූනි මාසයේ කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික විදෙස් රැකියා ආයතනයකින් ගෘහ සේවය සඳහා තමන් ගිය බවත්, එහිදී ආහාරපාන ලබා නොදී දැඩි පීඩනයකට පත්ව සිටින අවස්ථාවක තමන් දුරකතනය හරහා සිය මවට ආහාර නොමැති බව පැවසීමෙන් හා රැකියා නියෝජිත ආයතනයට ඒ බව දැන්වීම නිසා උරණ වූ සෞදි රටේ මෙම කාන්තාව සේවය කළ නිවසේ හිමිකාරිය සහ ඇයගේ මව එක්ව ඉතා අමානුෂික අන්දමින් තමන්ට පහර දී, කොන්ක්‍රීට් සඳහා ගසන සුදු පැහැති යකඩ කම්බි පහක් ගිල දමන ලෙස බලකරමින් පහර දුන් බව ඇය සඳහන් කළාය.

තමන්ට ආහාර වෙනුවට යකඩ කම්බි ගිල්ලවීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ දැඩි ලෙස තමන්ට පහරදීම ඉවසා ගැනීමට නොහැකි වූ තැන යකඩ කම්බි ගිල දැමූ බව ද ඇය සඳහන් කළාය.

පසුව රෙදි වියළීම සඳහා උපයෝගී කරගන්නා සුදු යකඩවලින් නිෂ්පාදිත ස්ප්‍රීන් එකක් ගිල්ල වූ බවත් එම යකඩ කැබැල්ල උගුරේ සිරවූ බව ද ඇය හැඬු කඳුළින් සඳහන් කළාය.

දින කිහිපයක් මේ ආකාරයෙන් පසුවෙද්දී එකවරම තමන්ගේ උදරයෙන් මුඛයෙන් ලේ වහනය වන්නට වූ තැන එම නිවැසියන් තමන්ව එරට රෝහලකට රැගෙන ගිය බව සෙල්වී පැවසුවාය.

කෙසේ වෙතත් එහි සිටි වෛද්‍යවරුන් පරීක්ෂා කොට බැලීමේදී එම කාන්තාවගේ උදරයේ යකඩ ඇණ පහක් දැක ඒ සඳහා ප්‍රතිකාර ලබාදීමට ඉදිරිපත් වූ බව ඇය සඳහන් කළාය.

පසුව එරට පොලිසිය පැමිණ තමාගෙන් ප්‍රකාශයක් ලබාගත් බවත් අවසානයේ දී පොලිසියේ ප්‍රකාශවල සටහන්ව ඇත්තේ තමන් රෙදි වේළීම සඳහා යොදා ගන්නා සුදු යකඩ කම්බියක් කටේ දමා වැඩ කරමින් සිටිය දී එය දරුවකු හැපීමත් සමඟ එය ගිලී උගුරේ සිරවී තිබෙන නිසා උගුරේ සිර වී තිබුණු සුදු යකඩ ස්ප්‍රීන් එළියට ගැනීම සඳහා කම්බි ඇණ පහක් ගිල දැමූ බවට සටහන් වී ඇතැයි ඇය හැඬු කඳුළින් සඳහන් කරන්නට වූවාය.

සිද්ධිය සම්බන්ධයෙන් දැඩි කම්පනයට පත් වූ එරට රෝහලේ වෛද්‍යවරයකු ඉදිරිපත් වී එහි නිවැසියන්ට තමන් භාර නොදී නැවත පොලිසිය හරහා තානාපති කාර්යාලය දැනුවත් කොට ලංකාවට එවීමට පියවර ගත් බව ඇය සඳහන් කළාය.

පසුව ලංකාවට පැමිණ මහනුවර රෝහලේ දී පරීක්ෂා කිරීමේදී තවත් ඇණ දෙකක් තම කුස තුළ තිබෙන බව එක්ස්රේවලින් පෙනී ගිය බවද සඳහන් කළාය.

එක ඇණයක් දින දෙකකට ඉහතදී වෛද්‍යවරුන් එළියට ගත් බවත්, තවත් එක යකඩ ඇණයක් තමන්ගේ උදරයේ පිට කොන්ද ප්‍රදේශයේ රැඳී තිබෙන බවද ඇය සඳහන් කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විදේශ රැකියා ආයතනය දැනුවත් කළ ද ඊට නිසි ප්‍රතිචාරයක් නොදැක්වූ බවද මව සඳහන් කරන්නට වූවාය.

මේ පිළිබඳව තොරතුරු සහ වෛද්‍ය වාර්තා සමඟ වත්තේගම පොලිසියට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව මව සඳහන් කළාය.

වත්තේගම පොලිසියේ නිලධාරීන් පැය හතරක පමණ කාලයක් මෙම කාන්තාවගේ ප්‍රකාශ සටහන් කරගෙන ඉදිරි විමර්ශන සිදුකරන බවත් මේ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව වත්තේගම පොලිසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

(දිනමිණ)

42.31%
17.27%
32.76%