April 24, 2025

අනුරාධපුර නගරයේ රජයේ නිල නිවාස ඇතුළු පෞද්ගලික නිවාස රැසක ජල මීටර් සූක්ෂ්ම ලෙස ගලවා මුදලට විකුණූ හිටපු ජල සම්පාදන සේවකයකු රුපියල් ලක්ෂයකට වැඩි ජල මීටර් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මිහින්තලය 50 කණුව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් එම සැකකරු මීට පෙර ජලසම්පාදන මණ්ඩලයේ සේවය කරමින් සිටියදී තදින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම හේතුවෙන් රැකියාවෙන් ඉවත් කර සිටින අයෙකු බව පොලිසිය පවසයි.

ජල බිල්පත නිකුත් කිරීම සඳහා මනුකියවන්නා නිවෙස්වලට පැමිණෙන අවස්ථාවේදී ජල මීටරයක් නොමැති බව නිවැසියන්ට දැන්වීමෙන් අනතුරුව ලැබුණු පැමිණිලි සම්බන්ධ විමර්ශන කර සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ජල සම්පාදන මණ්ඩලය සහ අනුරාධපුර රෝහලට අයත් නිවාසවල ජල මීටර සැකකරු විසින් සොරකම් කර තිබූ බව පොලිසිය පවසයි.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එම සැකකරු සන්තකයේ තිබී ජල මීටර් 23ක් සොයා ගත් බවද පොලිසිය පවසයි.

සැකකරු ජල මීටර් ගලවා, සූක්ෂ්ම ලෙස එම ස්ථානයට ‘එල්’ හැඩැති බටයක් සවිකර නිවැසියන්ට සැක නොහිතන පරිදි ජල සම්බන්ධතාවය ඇනහිටීමක් නොවන පරිදි මෙම සොරකම සිදුකර ඇති බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බව පොලීලිසිය සඳහන් කරයි.

සැකකරු මෙම ජල මීටර් ගලවා පරණ යකඩ බඩු මිලට ගන්නා ස්ථානවලට අඩු මුදලට විකුණා, එම මුදලින් මත්කුඩු පානය කර ඇති බවට සැකකරන බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.(දිනමිණ)