March 20, 2024

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුවට තමා පත්කර ඇතත් එය බාර ගැනීම ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර අද පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.

පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරමින් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ විසින් ප්‍රකාශයට පත කරන ලද්දේ කෝප් කමිටුවට පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර පත්කර ඇති බවයි.

එහිදී වහා මැදිහත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර එම පත්වීම ප්‍රතික්ෂේප කරන බව දැනුම්දුන්නේය.

පාර්ලිමේන්තු සභාව අමතමින් වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරයකු කෝප් කමිටුවේ ප්‍රධානියා වීම සාමාන්‍ය සිරිත බවයි.

නව සභාපතිවරයා සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවත් සමඟ තමන් කෝප් කමිටුවට පත් කිරීම ප්‍රතික්ෂේප කරන බව ද මන්ත්‍රීවරයා පැවසීය.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර කෝප් කමිටුවෙන් ඉවත් වූ නවතම සාමාජිකයා බවට පත්වෙයි.

කෝප් කමිටුවේ නව සභාපතිවරයා ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු පත්කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු හේතුවෙන් ඉල්ලා අස්වූ පළමු සාමාජිකයා වූයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්නයි.

ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, මහාචාර්ය චරිත හේරත්, එස්.එම්. මරික්කාර්, හේෂා විතානගේ, ගාමිණී වලේබොඩ සහ ශානකියන් රසමානිකම් ද කෝප් කමිටුවෙන් ඉවත් වුහ.

ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 8 දෙනෙකු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවෙන් ඉවත් වී තිබේ.

42.31%
17.27%
32.76%