October 19, 2023

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ ආරක්ෂාවට යොදවා සිටින ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනාගේ පැති අවි දෙක (පිස්තෝල දෙක) වහාම රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ලබාගෙන එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (18) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර තිබේ.

පසුගියදා මන්ත්‍රීවරයාගේ මෝටර් රථයට වෙඩි තැබීම සඳහා එම අවි භාවිත කර ඇති ද යන්න අනාවරණය කරගැනීම සඳහා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මෙම නියෝගය නිකුත් කර ඇත.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝගය නිකුත්කර ඇත්තේ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැළකිල්ලට ගනිමිනි.

එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, උද්දික ප්‍රේමරත්න ඉලක්ක කර ගනිමින් එල්ලකර ඇති බව කියන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් අරඹා ඇති බවය.

මෙම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට කිසිදු සැකකරුවකු මෙතෙක් හඳුනාගෙන නොමැති බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත.

මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන්ට නිකුත්කර ඇති පැති අවිවලින් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති ද යන්න රස පරීක්ෂකවරයාගේ වාර්තාව මගින් අනාවරණ කර ගැනීමට හැකිවනු ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කර තිබේ.

වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ඒ අසල මාර්ගයක මෝටර් රථයක් ගමන් ගන්නා අයුරු සටහන්ව ඇති බව කියන සීසීටීවී දර්ශන සටහන් වී ඇති උපකරණය ද රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා, අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර තිබිණි.

වෙඩි ප්‍රහාර හේතුවෙන් මන්ත්‍රීවරයාට කිසිදු හානියක් සිදුව නොමැති වුවද ඉන් ඔහුගේ මෝටර් රථයට හානි සිදුව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කර ඇත.

ඊට අදාළ විමර්ශන සඳහා මන්ත්‍රීවරයාගෙන්, ඔහුගේ ආරක්ෂාවට යොදවා සිටි ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් සහ තවත් කිහිප දෙදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

සැකකරුවන් හඳුනාගැනීම සඳහා පොලිස් බුද්ධි අංශවල සහ පෞද්ගලික ඔත්තුකරුවන්ගේ සහාය විමර්ශන සිදුකරන තම පොලිස් කණ්ඩායම් විසින් ලබාගනු ලැබූ බව එහි නිලධාරීන් වැඩිදුරටත් අධිකරණයේදී සඳහන් කර ඇත.

(මූලාශ්‍රය – මව්බිම)

42.31%
17.27%
32.76%