January 4, 2024

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර වහාම අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.

මූල්‍ය අපරාධයක් සම්බන්ධයෙන් විත්තිකරුවකුට එරෙහිව පවරා ඇති නඩුවක පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ලබාදීමට අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස දන්වා නිකුත් කළ සිතාසි නියෝගය භාරගෙන තිබියදීත් අධිකරණය හමුවේ නොසිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෛද්‍යලංකාර වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මෙලෙස ඊයේ (03) වරෙන්තු නිකුත් කර තිබේ.

එම නඩුවේ සාක්‍ෂි විභාගය ඊයේ (03) පැවැති අතර පැමිණිල්ලේ හයවන සාක්‍ෂිකරු අධිකරණය හමුවේ පෙනීනොසිටීම කෙරෙහි අවධානය යොමු කළ විනිසුරුවරයා, වැඩිදුර සාක්‍ෂි විභාගය ලබන අප්‍රේල් 04 වැනිදා දක්වා කල්තබමින් එම වරෙන්තුව නිකුත් කර ඇත.