November 16, 2023

ආබාධයක් හේතුවෙන් 2023 ICC පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අහිමිවීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග කලකිරීම ප්‍රකාශ කර තිබේ.

සම්මුඛ සාකච්ඡාවක අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, ආබාධය ඔහුගේ සහභාගීත්වය වැළැක්වූ බවත්, අවසානයේ ශල්‍යකර්මයකට භාජනය වීමට සිදුවූ බවත්ය.

”ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුරදී මම තුවාල ලැබූ බවට බොහෝදෙනා ප්‍රකාශ කර තිබුණා. ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට මට අවශ්‍ය නැති බවටද බොහෝදෙනා චෝදනා කර තිබුණා. LPL තරගාවලියේදී මට ඇති වූ ආබාධයෙන් මම සුවය ලැබුවා. කෙසේ තත්, ලෝක කුසලානයට සති දෙකකට පෙර, මගේ ශාරීරික යෝග්‍යතා දින චර්යාවේ කොටසක් ලෙස වේගයෙන් දුවද්දී මම නැවත තුවාල ලැබුවා. මට LPL හිදී මාංශ පේශි උළුක්කුවක් ඇතිවුණා. මම ලෝක කුසලානයට සූදානම් වන විට එම මාංශ පේශි ඉරීගියා. එහි ප්‍රතිඵලයක් විදිහට ශල්‍යකර්මයක් කරන්න වුණා.”

ඔහු එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරමින් සඳහන් කර ඇත්තේ, තමන් රට වෙනුවෙන් ක්‍රීඩා කළ නිසා T20 ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලෝකයේ අංක එකේ ක්‍රීඩකයා ලෙස තමාව තෝරාගත් බවයි.

විදේශයන්හි සිටින වෛද්‍යවරුන් ඇතුළු විශේෂඥයන් මෙම ආබාධය සඳහා සති 12ක සුවවීමේ කාලයක් නිර්දේශ කර ඇති බවත්, මේ හේතුවෙන් තමාට ලෝක කුසලානය අහිමි වූ බවත්, ඔහු පවසයි.

මේ වන විට ශල්‍යකර්මයට භාජනය වී සති 05කට ආසන්න කාලයක් ගතවී ඇති බව ද හෙතෙම කියයි.

”මට සති 12ක ප්‍රකෘතිමත් කාලයක් ලබා දී තියෙනවා. මම මගේ ජිම් සැසි ද මේ සතියේ ආරම්භ කළා. මම ලබන සතියේ මන්දගාමී ජෝගිං ආරම්භ කරනවා. ඒ වගේම සුවය ලබා නැවත ක්‍රීඩාවට එන්න බලාපොරොත්තු වෙනවා”

ශල්‍යකර්මයෙන් පසු සති 03කට ආසන්න කාලයක් අධාරකවල සහයෙන් ඇවිද ගිය බවත්, පසුගිය සති දෙක තුළ තමාට තනිවම ඇවිදීමට හැකි වූ බවත්, ඔහු පවසයි.

සුවය ලැබීමෙන් සති 06කට පසු පන්දු යැවීම සහ පිතිකරණය සම්බන්ධ පුහුණුවීම් කටයුතු ආරම්භ කරන බව වනිඳු වැඩිදුරටත් සඳහන් කරයි.