June 16, 2024

ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් 2024 ICC පිරිමි T20 ලෝක කුසලානයෙන් පසුව ඔහුගේ තනතුරේ තවදුරටත් රැඳී නොසිටිනු ඇතැයි වාර්තා වේ.

මේ දිනවල පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලාන තරඟාවලියේ පළමු වටයේදීම ශ්‍රී ලංකාව ඉන් ඉවත් වීමෙන් පසු ඔහුගේ කොන්ත්‍රාත්තුව අලුත් නොවනු ඇතැයි පැවසේ.

මේ අතර 20 යි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක වනිඳු හසරංග ඉල්ලා අස්වීමට සූදානම් බව කියනු ලැබේ.

ඉන් අනතුරුව පැවැත්වෙන පළමු අන්තර්ජාතික T20 තරගයේදී වනිඳු හසරංග වෙනුවට වත්මන් ශ්‍රී ලංකා එක්දින අන්තර්ජාතික කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් කැඳවීමට ද බොහෝදුරට ඉඩ ඇත.

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එම තරගාවලිය ජූලි මාසයේදී පැවැත්වෙනු ඇති.

ඒ සඳහා ඉන්දියාව දෙවන පෙළ කණ්ඩායමක් එවනු ඇතැයි පැවැසේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එම T20 සහ එක්දින තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායමේ රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි වැනි ජ්‍යෙෂ්ඨ ඉන්දීය ක්‍රීඩකයන් සහභාගි වීමට ඉඩක් නොමැති බව පැවසේ.

මේ අතර, සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර්ජාතික සහ දේශීය ව්‍යුහයේ ප්‍රධාන වගකීම භාරගැනීමට නියමිතය.

ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු පසුගියදා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා සීමිත ඕවර ක්‍රිකට් කණ්ඩායම්වලට තරුණ ක්‍රීඩකයන් අවශ්‍ය බවත් උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික තේරීම් කමිටුවට දැන් රටේ සීමිත ඕවර දෙකටම යොවුන් ක්‍රීඩකයන් ඇතුළත් කිරීමට බලපෑම් එල්ල වී ඇති බවත්ය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු මහින්ද හලංගොඩගේ තනතුර ද අවදානම් බව පැවසේ.

ශ්‍රී ලංකාව අමෙරිකාවේ පැවැත්වෙන T20 තරගාවලියේදී මුහුණ දුන් ලෝක කුසලාන පරාජයෙන් පසු ඔහුට ඔහුගේ තනතුර අහිමි විය හැකිය.