December 28, 2023

කපුවන්ට සුරසැප විඳිමට ⁣රට පුරා විවිධ දේවාලවලට මුදල් හා රත්තරන් පිදීම නතර කර, ඒ මුදල් දුප්පත් දරුවන්ට බෙදාදීමට බැතිමතුන් දැන්වත් කල්පනා කළයුතුව ඇතැයි ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසි රාහුල හිමියො පවසති.

දෙවියන්ගේ පිහිට පතා කපුවන්ට මුදල් පිදිමෙන් සිදුවන්නේ කපුවන් පොහොසත්වීම පමණක් යැයිද උන් වහන්සේ කියති.

දෙවියන්ට මුදල් පිදීමේ ගොං වැඩ නතර කිරිමට දැන් කාලය එළැඹ ඇතැයිද උන් වහන්සේ අවධාරණය කරති.

වනවාසි රාහුල හිමියෝ මෙසේද පවසති.

“කතරගම මහ දේවාලයේ මාසයක ආදායම රුපියල් කෝටි පහක් පමණ යැයි බස්නායක නිලමේවරයා පවසා තිබුණා.ඒ මුදල් යන්නේ කපුවන්ගේ සාක්කුවලට. රත්තරන් බඩුත් කපුවන් ගෙනයනවා කියලා කපුවෝම කිව්වා. දැන් කතරගම දේවාලයට පූජාකරපු රන් තැටියක් අතුරුදන් වී තිබෙනවා.

මේ හෙළිදරව් වුණේ කතරගම දේවාලයේ වංචා පමණයි. රට පුරාම දේවාලවල මේ වගේ වංචා සිදුවෙනවා. නවගමුවේ පත්තිනි දේවාලයෙත් සල්ලි වංචා හෙළිවීම නිසා කැටවලට සීල් තැබුවා.

බැතිමතුන් දෙවියන්ට පූජාකරන සල්ලි හා රත්තරන් බඩුවලට සිදුවන දේ කවුරුවත් දන්නේ නැහැ. මේ අන්දමින් මහජන මුදල් වංචාසහගත ලෙස පිල්ලි ගැසීම වළක්වන්න විධිමත් පිළිවෙළක් ඕනේ. බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්ලා නිදිමරගාතේ වගේ ඉඳලා මේ ප්‍රශ්න විසඳන්න බැහැ. බලධාරින් මර නින්දේ ඉන්නකොට කපුවෝ හොඳහැටි ජාවාර⁣ම් කරනවා.

මේ නැතිබංගස්ථාන කරන්නේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි. මිනිස්සුත් දෙවියෝ පස්සේ ගිහින් සල්ලි මිටි ගණන් පුදනවා. මේ ක්‍රමය නැතිකරන්න ඔිනේ. දෙවියන්ට පින් දුන්නාම ඇති. සල්ලි වැඩිනම් දුප්පත් ළමයින්ට අඩුගාණෙ කන්න ටිකක් අරන් දෙන්නවත් වැයකරනවා නම් ලොකු දෙයක්”.

“කපුවන්ගේ වංචා ගැන හොරකම් ගැන මාධ්‍යයෙනුත් දවසයි දෙකයි කතාකරන්නේ. ඊට පස්සේ හැමෝටම ඔක්කෝම අමතකයි. ආපහු කපුවෝ හොරකම දිගටම කරගෙන යනවා. ඒ නිසා මේ දේවාලවල හොරකම් වළක්වන්න වැඩපිළිවෙළක් යොදනවා වගේම බැතිමතුනුත් දෙවියන්ට සල්ලි පුදන ගොං වැඩ දැන්වත් නතර කළ යුතුයි” යැයිද උන් වහන්සේ වැඩිදුරටත් සඳහන් කරති.

42.31%
17.27%
32.76%