42.31%
17.27%
32.76%
October 12, 2023

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර උග්‍රවන ගැටුම් මධ්‍යයේ ඊශ්‍රායලයේ සේවය කරන 8,000කට ආසන්න ශ්‍රී ලාංකිකයන්ගෙන් වැඩි දෙනෙක් “Wait and see” ක්‍රමය අනුගමනය කර ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) ඔවුන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණය කරන බව එම කාර්යාංශය පවසයි.

රැකියා සඳහා ඊශ්‍රායලයට ගොස් ඇති ශ්‍රී ලාංකිකයන් 8,000ක පමණ පිරිසක් සිටින බවත්, ඔවුන්ගෙන් වැඩිදෙනෙක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ගොස් ඇති බවත්, එම කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා සඳහන් කරයි.

එමෙන්ම ඔවුන්ගෙන් සියයට 95ක් කාර්යාංශයේ ලියාපදිංචි වී ඇති අතර, තවත් පිරිසක් සෘතු රැකියා (seasonal employment) සඳහා එහි ගොස් වලංගු වීසා නොමැතිව එහි රැඳී සිටින බව ඔහු පවසයි.

පවතින තත්ත්වය මත ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසක් එරටින් ඉවත් නොකරන ලෙස ඉල්ලීම් කර ඇති බවත්, ඔවුන්ට යළි ලංකාවට පැමිණීමට අවශ්‍ය නොවන බවත්, සඳහන් කර ඇතැයි හෙතෙම පවසයි.

කෙසේ වෙතත්, යමෙක්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය නම්, ඔවුන්ට ඕනෑම වේලාවක එය කළ හැකි බව ද ඔහු සඳහන් කර ඇත.

වාණිජ ගුවන් ගමන් තවමත් එහි ක්‍රියාත්මක වන අතර, වාණිජ ගුවන් ගමන් ඇනහිටුවහොත් සහ ගැටුම් බරපතල ලෙස වර්ධනය වුවහොත් එම කාර්යාංශය විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණය කර ශ්‍රී ලාංකිකයන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව හෙතෙම සඳහන් කර තිබේ.

එමෙන්ම මේ වන විට කාර්යාංශය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කර ඇත්තේ, තොරතුරු ලබාගැනීමට සහ අනුගමනය කළ යුතු ආරක්ෂක ක්‍රියාමාර්ග පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීමට කාර්යාංශය පියවර කිහිපයක් ගෙන ඇති බවයි.

ගැටුම් වලින් වැඩිපුරම බලපෑම් එල්ල වී ඇත්තේ දකුණු ඊශ්‍රායලයට වන අතර, එම ප්‍රදේශයේ ජීවත් වන්නේ ඉතා සුළු ශ්‍රී ලාංකිකයන් පිරිසකි.

කෙසේ වෙතත්, ශ්‍රී ලාංකිකයෙක්ට අනතුරක් වන සෑම අවස්ථාවකම ඔවුන් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සෘජුව මැදිහත් වී සහන සැලසීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

42.31%
17.27%
32.76%