September 9, 2024

ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව සිය ඡන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන යන හැඳුනුම්පත් ලේඛනවල ඔවුන්ගේ ස්ත්‍රී-පුරුෂභාවය වැරදි ලෙස ප්‍රකාශ වී ඇත බැවින් ඔවුන් මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමේදී ගැටලුකාරී තත්ත්වයකට මුහුණදෙන බව සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව වෙනුවෙන් පෙනීසිටින සමාජ ක්‍රියාකාරීහු පවසති.

ඔවුන් පවසන්නේ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ජාතික හැඳුනුම්පත් නිකුත් කරන්නේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයට පමණක් වන බවයි.

එබැවින් සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව මුහුණදෙන ගැටළු සඳහා විසඳුම් සෙවීමේදී නීතිමය ගැටලුවලට මුහුණදීමට සිදුවේ.

රටේ නීතියට අනුව, සෑම පුරවැසියෙකුටම ජාතික හැඳුනුම්පත තිබිය යුතු අතර ඉන් එම පුද්ගලයාගේ අනෙකුත් තොරතුරු මෙන්ම ස්ත්‍රී පුරුෂභාවය හෙළි කරයි.

ඡන්දය ප්‍රකාශ කිරීමේදී ජාතික හැඳුනුම්පත ඉදිරිපත්කිරීම මූලික අවශ්‍යතාවකි.

මෙරට සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව නියෝජනය කරන නවෝදා බෙනට් රත්නායක Sunday Times වෙත පවසා ඇත්තේ, තමා ජීවත් වන්නේ ද්විමය නොවන අනන්‍යතාවකින් බවයි.

වෙනත් වචනවලින් කිවහොත්, ඇය පිරිමි හෝ ගැහැණු ලෙස හඳුනානොගනී.

“ජාතික හැඳුනුම්පත් ලබාගැනීමේදී පිරිමි සහ කාන්තා විකල්ප පමණක් ලබාගන්න පුළුවන්. වෙනත් විකල්පයක් නැහැ. ඒ නිසා මට මගේ හැඳුනුම්පත සඳහා පිරිමි හෝ ගැහැණු තෝරා ගැනීම හැර වෙනත් විකල්පයක් නැහැ.” ඇය පවසයි. “මෙය සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව සඳහා සැලකිය යුතු ප්‍රශ්නයක් වී තිබෙනවා”

මෙරට සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව මුහුණදෙන ගැටළු පැහැදිලි කරමින් සමාජ ක්‍රියාකාරිකයකු වන ගයාන් සෙනෙවිරත්න පවසන්නේ, “මෙය ඔවුන්ට සැලකිය යුතු පීඩාවක්. එබැවින් විවිධ හැඳුනුම්පත් සහිත පුද්ගලයන් සඳහා ස්ථිර හැඳුනුම්පත් ලබාදීමේ ක්‍රියා පටිපාටියක් නිර්මාණය කරන ලෙසට අපි යෝජනා කරනවා. එසේ නොවුණහොත් මැතිවරණ කාලවලදී දුෂ්කරතාවලට මුහුණ දෙනවා පමණක් නොව ඔවුන් සමාජයෙන් කොන් කිරීම ද සිදුවේවි.”

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසා ඇත්තේ, මැතිවරණ කොමිසමට බලය ඇත්තේ මැතිවරණ නීතිය යටතේ මැතිවරණයට අදාළ කටයුතුවලට මැදිහත්වීමට පමණක් බවයි.

“අපට සමාජ මතවාද ආමන්ත්‍රණය කිරීමට හැකියාවක් නැහැ. රටේ අධ්‍යාපන ක්‍රමයේ, ආගමික පරිසරයේ සහ සමාජ ව්‍යුහයේ වෙනස්කම් හරහා මෙම කරුණු ආමන්ත්‍රණය කළ යුතුයි. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට සෘජු වගකීමක් ගන්න බැහැ,” ඔහු සඳහන් කරයි.

කෙසේවෙතත්, ඡන්ද මධ්‍යස්ථානවලදී ප්‍රජා සාමාජිකයන්ට මුහුණදෙන දුෂ්කරතා පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව සැලකිල්ලට ගෙන ඒවා විසඳීමට පියවර ගත් බව ඔහු සහතිකවී තිබේ.

වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්දදායකයන්ට තාවකාලික ලේඛනයක් ග්‍රාම නිලධාරීවරයාගෙන් ලබාගත හැකි බවද ඔහු පැවැසීය.

මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් වන පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසාඅ ඇත්තේ, මෙරට සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව ද රටේ පුරවැසියන් වන අතර ඔවුන්ට ද අනෙකුත් පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් ඇති බවයි.

එබැවින් ඔවුන්ට ද බාධාවකින් තොරව ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ ලබාදිය යුතු බව ඔහු පවසයි. මැතිවරණ ක්‍රියාවලියේදී ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂභාවය තීරණය කිරීමට කිසිදු බාධාවක් නොවිය යුතු බවද ඔහු සඳහන් කරයි.

මෙරට සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව නියෝජනය කරන පුද්ගලයන්ගේ යෝජනා සලකා බැලීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් කෙටිකාලීන විසඳුමක් සඳහා පැෆ්රල් සංවිධානය මැතිවරණ කොමිසමට යෝජනා මාලාවක් ඉදිරිපත් කළ බව ද එහි විධායක අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසා ඇත.