September 10, 2024

මෙරට වීසා නිකුත් කිරීමේ ක්‍රමයට අදාළ වත්මන් ගැටලු හේතුවෙන් 2024 ජනාධිපතිවරණය ආවරණය කරන විදේශීය මාධ්‍යවේදීන් සඳහා වීසා ලබා ගැනීමේ ක්‍රියා පටිපාටිය පිළිබඳ විදේශ වාර්තාකරුවන්ගේ ශ්‍රී ලංකා සංගමය මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා තිබේ.

මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් වෙත ලිපියක් යවමින් එම සංගමය පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණය වාර්තා කිරීමට අදහස් කරන විදෙස් වාර්තාකරුවන්ට බාධාවකින් තොරව මෙරටට පැමිණීමට හැකි බවට සහතික වුවද, එතෙර සිටින ශ්‍රී ලංකා දූත මණ්ඩල කිහිපයක් දන්වා ඇත්තේ ‘මාධ්යවේදීන්’ සඳහා වන වීසා ඔවුන්ට තවදුරටත් නිකුත් කිරීමට නොහැකි බවයි.

“ඔවුන්ගේ මව් රටවල ශ්‍රී ලංකා දූත මණ්ඩල හරහා වීසා සඳහා ඉල්ලුම් කර ඇති අපගේ සගයන් කිහිප දෙනෙකුට දන්වා ඇත්තේ, අගෝස්තු මස මුලදී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවෙන් පසුව, මෙම දූත මණ්ඩලවලට තවදුරටත් ‘මාධ්‍යවේදීන්’ සඳහා වන වීසා නිකුත් කිරීමට නොහැකි බවයි. අතීතයේ දී, මෙම වීසා බලපත්‍ර මගින් මාධ්‍යවේදීන්ට ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් මාධ්‍ය අවසරය ලබා ගැනීමට ඉඩ ලබා දෙන ලදී. මෙම නව තත්ත්වය සැළකිල්ලට ගෙන, වීසා බලපත්‍රයක් ලබා ගැනීම සඳහා නිවැරදි ක්‍රියා පටිපාටිය මෙන්ම අවශ්‍ය ලියකියවිලි පිළිබඳ පැහැදිලි කරන්නේනම් අපි කෘතඥ වෙමු. මෙම ක්‍රියාවලිය පිළිබඳ අදාළ සියලුම බලධාරීන් දැනුවත් බව සහතික කිරීමට මෙය උපකාරී වනු ඇත,” යනුවෙන් එම සංගමය සිය ලිපියෙන් පවසා ඇත.

විදේශ මාධ්‍ය ආයතන නිසි අවසරයක් නොමැතිව කාර්ය මණ්ඩල යොදවා නොගන්නා බවත්, එබැවින් මෙම වැදගත් මැතිවරණ සමයේ මාධ්‍ය රාජකාරිවලට බාධාවක් නොවන පරිදි වීසා ලබා ගැනීමේ ක්‍රමවේදය සහ මාධ්‍ය අවසරය පිළිබඳ දැනුම් දිය යුතු බව විදේශ වාර්තාකරුවන්ගේ ශ්‍රී ලංකා සංගමය වැඩිදුරටත් පැවසීය.

ගෝලීය වීසා සැකසුම් සේවාව වන VFS Global සහ එහි ගාස්තු මේ වසර මුලදී අවධානයට ලක්වීමෙන් පසු ශ්‍රී ලංකාව මේ වන විට කටුනායක ගුවන් තොටුපළේ වීසා නිකුත් කිරීමේ ගැටලුවකට මුහුණ දී සිටී.

රාජ්‍ය මූල්‍ය පිළිබඳ කාරක සභාව විසින් දියත් කරන ලද පරීක්ෂණයකින් ද අනාවරණය වී ඇත්තේ VFS Global නිල ලංසු කැඳවීමකින් තොරව තෝරාගෙන ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට වීසා නිකුත් කිරීම සඳහා තරඟකාරී ගාස්තු ලැබීම අහිමි වූ බවයි.

මෙම වසරේ ජූලි මාසයේදී මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස්ට , රජයට සහ VFS වීසා පටිපාටියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් තුනක් ගොනු කර තිබිණි.

අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් VFS වීසා නිකුත් කිරීමේ ක්‍රමය අත්හිටුවා පැරණි ක්‍රමය නැවත ක්‍රියාත්මක කරන ලෙස නියෝග කර ඇති අතර එය තවමත් ක්‍රියාත්මක කර නොමැත.