August 29, 2024

කටුනායක ගුවන් තොටුපළේ නව වීසා නිකුත් කිරීමේ ක්‍රමය හැසිරවීම් සඳහා VFS Global සමඟ එක්ව කටයුතු කළ GBS Technology Services සහ IVS Global FZCO යන සාමාගම් මහජන මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන් විසින් මෑතකදී කරන ලද ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

පසුගිය දිනෙක පැවති මාධ්‍ය හමුවකදී මහජන මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන් වන පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම් සහ එම්.ඒ.සුමන්තිරන් යන මන්ත්‍රීවරුන් වීසා නිකුත් කිරීමේ ක්‍රමය, VFS Global අධික ගාස්තු අය කිරීම සහ ඩුබායි හි බැංකු ගිණුමකට ඇති සම්බන්ධය ඇතුළු චෝදනා කිහිපයක් මතු කරන ලදී.

කටුනායක ගුවන් තොටුපළට හඳුන්වා දුන් VFS වීසා පටිපාටිය සම්බන්ධයෙන් මහජන ආරක්‍ෂාව පිළිබඳ ඇමැති ටිරාන් අලස්ට සහ රජයට එරෙහිව ජුලි මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබූ පෙත්සම් තුන පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනා ජනතාව දැනුවත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ අවධානය යොමු වී තිබේ.

මෙම ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් GBS Technology Services සහ IVS Global FZCO ප්‍රකාශ කළේ මුලදී විශ්වසනීය කරුණු ඉදිරිපත් කළ මන්ත්‍රීවරුන්ගේ මාධ්‍ය සාකච්ඡාව පසුව නොමඟ යවන ප්‍රකාශ මාලාවක් බවට පත් වූ බවයි.

එම මන්ත්‍රීවරුන් මාධ්‍ය සාකච්ඡාව කරුණුවලින් බැහැරව ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර දෙසට යොමු කිරීමට උත්සාහ කර තිබු බව ද එම නිවේදනයේ සඳහන් වේ.

නිවේදනයක් නිකුත් කරමින්, GBS Technology Services සහ IVS Global FZCO විසින් මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන් තිදෙනාගේ ප්‍රකාශයන්ට පැහැදිලි කිරීම් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ඉලෙක්ට්‍රොනික් සංචාරක අවසරය යනු වීසා බලපත්‍රයක් නොව ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සහ ගුවන් ගමන් සඳහා වන ගමන් බලපත්‍රයක් පමණක් බව ඔවුන් පෙන්වා දී තිබේ.

සැබෑ වීසා බලපත්‍රය ආගමන කවුන්ටරයේ දී ආගමන නිලධාරියා පැමිණීමෙන් පසු නිකුත් කරන බවත් එම නිවේදනයෙන් පෙන්වාදෙයි.

ප්‍රමාදය සමබන්ධයෙන් එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ඔවුන් සඳහන් කර ඇත්තේ එම ප්‍රමාදය හිතාමතා කළ බවට කරන ප්‍රකාශය අසත්‍යයක් බවයි.

VFS හි eVisa පද්ධතිය Mobitel විසින් ක්‍රියාත්මක කරන ඉලෙක්ට්‍රොනික් සංචාරක අවසර පද්ධතියට වඩා මූලික වශයෙන් වෙනස් බවත් එවැනි පද්ධති වෙනස් වීමේදී සැළකිව යුතු තාක්ෂණික සහ මෙහෙයුම් අභියෝග ඇතුළත් වන බවත් පැහැදිලි කිරීම් යටතේ පෙන්වා දී ඇත.