January 27, 2025

තාරකා විද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන පිරිසට මෙන්ම තරු නැරඹීම සඳහා උනන්දුවක් දක්වන්නන්ට ද චමත්කාරජනක දසුනක් ලබාදෙමින් සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහලෝක හයක දුර්ලභ පෙළගැස්මක් මේ දිනවල අහසේ දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා අංශයේ අධ්‍යක්ෂ සහ නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.

ඒ අනුව සිකුරු, සෙනසුරු, බ්‍රහස්පති සහ අඟහරු පියවි ඇසින් දැකීමට තරම් දීප්තිමත් වන අතර යුරේනස් සහ නෙප්චූන් දුරේක්ෂයකින් දැකිය හැකිය.

මේ දිනවල හිරු බැසයෑමෙන් පසු විනාඩි 90ක් ඇතුළත ජනවාරි 29 දක්වා සහ පෙබරවාරි මැද භාගය දක්වා මෙම ග්‍රහලෝක ඉතා හොඳින් දැකගත හැකි බව මහාචාර්ය චන්දන ජයරත්න පෙන්වාදෙයි.

“සියලු ග්‍රහලෝක අහස හරහා එකම පොදු මාර්ගයක පිහිටන බැවින්, බටහිර සිට නැගෙනහිරට ඇද ඇති මනඃකල්පිත රේඛාවක් වටා දළ වශයෙන් බැලීමෙන් ඒවා හඳුනාගැනීම පහසුයි. බටහිර දෙසින් නිරීක්ෂණය කිරීම ආරම්භ කළ විට සිකුරු අහසේ දීප්තිමත්ව දිස්වෙනවා. සෙනසුරු ඊට මදක් පහළින් දැකගත හැකියි. ග්‍රහලෝක දෙක අතර රේඛාවක් ලෙසින් නිරීක්ෂණය කිරීමේදී ඉහළින් බ්‍රහස්පති සොයාගැනීමට හැකියි” ඔහු සඳහන් කරයි.

“අඛණ්ඩව රේඛීයව නිරීක්ෂණය කරන විට අඟහරු ග්‍රහයා නැඟෙනහිර දෙසින් රතු පැහැයෙන් දීප්තිමත්ව දැකීමට හැකියි. එය පෘථිවියේ සිට සූර්යයාට කෙළින්ම විරුද්ධ නිසා ජනවාරි මාසයේදී එය අතිරේකව දීප්තිමත් වෙනවා. අනෙක් ග්‍රහලෝක දෙක පියවි ඇසට පෙනෙන්නේ නෑ. ‘දුරේක්ෂයක් සහ යම් පුහුණුවක් සමඟ, ඔබට සිකුරු ග්‍රහයාට මදක් ඉහළින් සහ දකුණින් නිල් පැහැයෙන් දිදුලන නෙප්චූන් ද, බ්‍රහස්පතිට බටහිර දෙසින් යුරේනස් ද දීප්තිමත්ව දැකගත හැකියි” මහාචාර්ය චන්දන ජයරත්න වැඩිදුරටත් පවසයි.

42.31%
17.27%
32.76%