April 12, 2024

වියට්නාමයේ ප්‍රකෝටිපති ව්‍යාපාරික කාන්තාවකට එරට අධිකරණයක් මගින් මරණ දඬුවම නියම කර ඇත.

ඒ, වියට්නාමයේ මෙතෙක් සිදුවූ විශාලතම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් වරදකරු වීම හේතුවෙන්.

විදෙස් ජනමාධ්‍ය පවසන පරිදි වියට්නාමයේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රකට ව්‍යාපාරික කාන්තාවක් වන Truong My Lan හට එලෙස මරණ දඬුවම නියම කර ඇත්තේ දකුණු වියට්නාමයේ Ho Chi Minh City හි අධිකරණයක් විසිනි.

67-හැවිරිදි වියේ පසුවන Truong My Lan වියට්නාමයේ ප්‍රකට දේපළ වෙළඳාම් සමාගමක් වන Van Thinh Phat හි සභාපතිවරියයි.

ඇයට අමෙරිකානු ඩොලර් බිලියන 44 ක වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

එම අගය වියට්නාමයේ 2022 වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 3% කට ආසන්න ප්‍රමාණයක් බව සඳහන් වේ.

ඇයට එරෙහි නඩු විභාගයේදී අනාවරණ වී ඇත්තේ Truong My Lan 2012 සහ 2022 යන කාලය අතරතුර වියට්නාමයේ වාණිජ බැංකුවක් වන Saigon Joint Stock Commercial බැංකුව නීතිවිරෝධී ලෙස පාලනය කර ඇති බවයි.

එහිදී ඇය බැංකුවට අමෙරිකානු ඩොලර් බිලියන 27 ක පාඩුවක් සිදු කළ ණය 2,500 ක් ලබා දීමට ඉඩ දී ඇති බව ද වියට්නාමයේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව මරණ දඬුවම නියම කරමින් අධිකරණය Truong My Lan හට නියෝග කර ඇත්තේ අදාළ බැංකුවට අමෙරිකානු ඩොලර් මිලියන 26.9 ක වන්දියක් ගෙවන ලෙසයි.

Truong My Lan ගේ ක්‍රියාකලාපය හමුවේ වියට්නාමයේ පුද්ගලයන්ගේ සහ සංවිධානවල දේපල කළමනාකරණ අයිතිවාසිකම් කඩ වී ඇතැයි අධිකරණය පවසා තිබේ.

ඒ හරහා රාජ්‍යයේ නායකත්වය කෙරෙහි ජනතාවගේ විශ්වාසය පළුදු වන බව ද අධිකරණය පෙන්වා දී ඇත.

එමෙන්ම මෙම වංචා සිදුවීම් සඳහා සිය නැන්දණියට සහය දැක්වීම හේතුවෙන් Truong My Lan ගේ ලේලිය වන Truong Hue Van ටද අධිකරණය මගින් වසර 17 ක සිරදඬුවමක් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ඇය Van Thinh Phat සමාගමේ ප්‍රධාන විධායක ලෙස කටයුතු කරයි.