July 19, 2024

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සිය ධූරයේ කටයුතු කිරීම වළකාලන අතුරු නියෝගයන් නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ලබන 24 වැනිදා ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (18) දැනුම් දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ දැනුම් දුන්නේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත්කිරීමට එරෙහිව ගොනුකරනු ලැබ තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීමෙන් පසුවය.

මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ අඩල වෙන්ගප්පුලි යන අයගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.

පුරා දින හයකට අධික කාලයක් මෙම පෙත්සම් සම්බන්ධයෙන් කරුණු සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ රාත්‍රී 9.00ට පෙත්සම
සම්බන්ධ කරුණු සළකා බැලීම අවසන් කළේය.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා ඇතුළු පිරිසක් ගොනුකර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් ඇතුළු පිරිසක් නම්කරනු ලැබ සිටියි.

මෙම පෙත්සම අධිකරණය හමුවේ සළකා බැලූ අවස්ථාවේ දී පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කරුණු දක්වමින්, ව්‍යවස්ථාදායක සභාව පොලිස්පතිවරයා පත්කිරීමේ දී නිවැරදිව කටයුතු කර ඇති බවත් කතානායකවරයා එය නිවැරදිව ප්‍රකාශ කර ඇති බවත් ප්‍රකාශ කළේය.

යම් හෙයකින් මේ පෙත්සමෙන් ඉල්ලා ඇති අතුරු සහනය ප්‍රදානය කළහොත් වැඩබලන පොලිස්පතිවරයකු පත්කිරීමට සිදුවන බවත් එහිදී ගැටලු සහගත තත්වයක් උද්ගත වන බවත් ජනාධිපති නීතිඥවරයා මෙහිදී කියාසිටියේය.

ව්‍යවස්ථාදායක සභාවට කිසිදු ආකාරයක විධායක බලපෑමක් පරිපාලන කළ නොහැකි බැවින් මෙහිදී කිසිදු ආකාරයක හෝ විධායක ක්‍රියාවකින් මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදු වී නොමැති බැවින් මෙම පෙත්සම් ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

ව්‍යවස්ථාදායක සභාව විධායකයට හෝ ව්‍යවස්ථාදායකට පරිබාහිර වූ ස්වාධීන සභාවක් බැවින් එහි තීරණය නිවැරදි බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පවත්වා ගෙන යා නොහැකි බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පෙත්සම්කාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය කියාසිටියේ පසුගිය අරගල සමයේදී ගාලු මුවදොර ගැටුම පාලනය කිරීමට නොහැකි වූ පුද්ගලයකු පොලිස්පති ධූරයට කිසිසේත් නුසුදුසු බවත් ඒ අනුව ඔහු මෙම ධුරයේ කටයුතු කිරීම වළකාලීමට අතුරු නියෝගය නිකුත් කළ යුතු බවත්ය.

එසේ නොකළහොත් මැතිවරණ සමයක් වන මේ කාලයේදී ජනතාවට ඉමහත් අපහසුතාවට පත්වීමට හැකියාවක් ඇති බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ කියා සිටියේ පෙත්සම්කරුවන් අධිකරණ කරුණු වසන්කර ඇති බවත් ව්‍යවස්ථාවේ කිසිදු ආකාරයක නොපැමිණි සාමාජිකයන් ගැන සඳහන් කර නොමැති බවත්ය.

ඒ අනුව ව්‍යවස්ථාදායක සභාවට කළ හැක්කේ තීරණයක් අනුමත කිරීම හා නොකිරීම බවත් ඒ අනුව පොලිස්පති ධුරය සඳහා ජනාධිපතිවරයා කළ නිර්දේශය අනුමත කර ඇති බවත්, ඒ අනුව මේ පෙත්සම් විභාගයට නොගෙන ඉවත දමන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

වැඩිදුර විභාගය තවදුරටත් පැවැත්වේ.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සුරේන් ප්‍රනාන්දු සහ විරාන් කොරයා පෙනීසිටියහ.(ලංකාදීප)

42.31%
17.27%
32.76%