September 3, 2024

වනාන්තරවලට ඇතුළුවීම තහනම් කර ඇති නීතිමය ප්‍රතිපාදන කඩිනමින් සංශෝධනය නොකළහොත් සිය ජීවනෝපාය, අධ්‍යාපනය, ආගමික විශ්වාස ඇතුළු සමස්ත සංස්කෘතියම විනාශ වන බවට ශ්‍රී ලංකාවේ ආදිවාසී ජන කොටසක් වන වැදි ප්‍රජාව අනතුරු අඟවා තිබේ.

වැදි ප්‍රජාවේ නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ පවසන්නේ වැදි ප්‍රජාව දීර්ඝ කාලීනව මුහුණ දෙන ගැටලුවලට තවමත් විසඳුම් ලැබී නොමැති බවයි.

වනාන්තරවලට ප්‍රවේශය නොලැබීමේ ප්‍රශ්නය අධ්‍යාපනය, ආගමික විශ්වාසයන් සහ සංස්කෘතිය වැනි ඔවුන්ගේ ජීවිතයේ සෑම අංශයකටම බෙහෙවින් බලපාන බව ඔහු පවසයි.

“අපට වනාන්තරවලට ඇතුළු වීම සහ අපගේ පාරම්පරික ජීවනෝපායන්හි යෙදීම තහනම්. එවැනි සීමා කිරීම් අපගේ ප්‍රජාවගේ අනාගතයට බලපානවා. අපගේ ජීවිතය වනාන්තර සමඟ අන්තර් සම්බන්ධයි. වනාන්තර කියන්නේ අපේ පාසල, අපේ පන්සල, අපේ රෝහල සහ අපේ ආහාර ගබඩාව. අපට දැන් ඒවාට ප්‍රවේශයක් නැහැ, අපගේ තරුණ පරම්පරාවට විශාල දැනුමක් සහ අත්දැකීම් අහිමි වෙමින් පවතිනවා, එම නිසා අදාළ නීති සංශෝධනය කිරීමෙන් මෙම ගැටලු ඉක්මනින් විසඳන ලෙස අපි ඉල්ලා සිටිනවා” යනුවෙන් ඌරුවරිගේ වන්නිලඇත්තෝ පවසා තිබේ.

සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින කිසිවකු වැදි ප්‍රජාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වී ඇත්දැයි මාධ්‍ය මගින් කළ විමසීමකට පිළිතුරු දෙමින් වන්නිලඇත්තෝ ප්‍රකාශ කර ඇත්තේ “කිසිදු ජනාධිපති අපේක්ෂකයෙක් මා හමුවීමට පැමිණ නැහැ. මම ඒ කාවවත් හමුවෙන්න ගිහිල්ලත් නැහැ. අපේ ප්‍රශ්න තවමත් එහෙම්මමයි” යනුවෙනි.

වැදි ප්‍රජාවට තිරසාර විසඳුම් ලබාදීමේ අරමුණින් නව පනතක් හඳුන්වා දෙන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පසුගිය වසරේ (2023) අගභාගයේදී නිවේදනය කර තිබිණි.

ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවක් විසින් කරන ලද නිර්දේශ මත මෙම පනත් කෙටුම්පත සකස් කර ඇති බව වාර්තා වේ.

නව නීති සම්පාදනයේ ප්‍රගතිය සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.රණසිංහ පවසා ඇත්තේ ඒ ගැන නීති අංශයෙන් විමසා එම නීති ආපසු හැරවීමට කටයුතු කරන බවයි.

වැද්දා යනුවෙන් හඳුන්වනු ලබන ප්‍රජාව 6 වැනි සියවසට පෙර සිට ශ්‍රී ලංකාවේ වාසය කළ බවට විශ්වාස කෙරේ.

වැදි ජනතාව සියවස් ගණනාවක් තිස්සේ වෙනම ප්‍රදේශවල ජීවත් වුවද, ඔවුන් දැන් බොහෝ දුරට නූතන සිංහල ජනගහනයට මුසු වී ඇත.

වැදි ප්‍රජාව නියෝජනය කරන අයකුට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට බලධාරීන් අවස්ථාවක් ලබාදිය යුතු බව හෝ ඔවුන්ගේ ගැටලු සොයා බැලීමට වෙනම අමාත්‍යාංශයක් පත්කළ යුතු බව වන්නිලඇත්තෝ පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

(The Daily Morning)