September 6, 2024

වැදි ප්‍රජාවට විශේෂ හැඳුනුම්පත් නිකුත් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මෙම පියවර ගෙන ඇත්තේ වැදි ජනයාට වනාන්තරවලට ඇතුළු වී වනයේ සම්පත්වලින් බාධාවකින් තොරව ජීවිකාව ගෙනයෑම පහසු කිරීම වෙනුවෙනි.

රතුගල වැදි නායක සුදාවන්නිල ඇත්තෝ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ පෙත්සමකට පිළිතුරු දෙමින් වනජීවී දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා ඇත්තේ දඹාන සහ රතුගල ආදිවාසීන්ට මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ හැඳුනුම්පත් ලැබෙන බවයි.

ප්‍රජා නායකයා විසින් නිර්දේශ කරනු ලබන පුද්ගලයන්ට පමණක් මෙම විශේෂ හැඳුනුම්පත් හිමිවන බව ඔහු සඳහන් කර තිබේ.

වනයට යෑමට නොහැකිවීම හේතුවෙන් තම ප්‍රජාව මුහුණ දෙන ගැටලු පිළිබඳ ඌරුවරිගේ වන්නිලඇත්තෝ ද මීට පෙර අදහස් පළ කර තිබිණි.