December 24, 2023

ජනවාරි 1 වැනිදා සිට ගල් අඟුරු සඳහා එකතුකළ අගය මත බද්ද (වැට්) 3% කින් වැඩි කිරීමත් සමඟ එක් නැව්ගත කිරීමකට වැට් බද්ද ලංකා විදුලිබල මණ්ඩලය විසින් අමතර රුපියල් මිලියන 70ක් රජයට ගෙවීමට සිදුවන බව ලංකා ගල් අඟුරු සමාගමේ සංඛ්‍යාලේඛන පෙන්වාදෙයි.

දැනට ලංකා විදුලිබල මණ්ඩලය වැට් බද්ද ලෙස එක් නැව්ගත කිරීමකට රුපියල් මිලියන 420ක් ගෙවන අතර, තවත් 3%ක වැඩිවීම අනුව එය රුපියල් මිලියන 490ක් දක්වා ඉහළයෑමට නියමිතය.

වාර්තා වන පරිදි, පාරිභෝගිකයන් වෙත බර පැටවීම වැළැක්වීම සඳහා වැට් බදු ගෙවීම් මේ දක්වා විදුලි බිලට ඇතුළත් කර නොතිබිණි.

කෙසේවෙතත්,වැට් ගාස්තුව ලංකා විදුලිබල මණ්ඩලය දිගටම දරන්නේද නැතහොත් වෙනත් ඕනෑම ආයතනයක් හෝ සමාගමක් මෙන් එය පාරිභෝගිකයන් වෙත පවරනු ඇතිද යන්න පිළිබඳ ලංකා ගල් අඟුරු සමාගමේ නිලධාරීන් ප්‍රකාශ කර නැත.

ලබන වසරේ අප්‍රේල් මාසයේදී අවසන් වන වාරය සඳහා ගල් අඟුරු නැව්ගත කිරීම් 40ක් ලංකා ගල් අඟුරු සමාගම අපේක්ෂා කරයි.

මේ වන විට නැව් තොග 14ක් ගොඩබා ඇත.

ජනවාරි 01න් පසු පැමිණෙන නැව් තොග සඳහා වැට් බදු වැඩිවීම අදාළ වන බව ලංකා ගල් අඟුරු සමාගම ප්‍රකාශ කරයි.

එම සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර පැවසුවේ වාරයට නියමිත පරිදි ගල් අඟුරු නැව් පැමිණෙන බවයි.

“ඊළඟ වාරය සඳහාත් අපි දැනටමත් නැව්ගත කිරීම් නවයක් ලබාගෙන තිබෙනවා. එම නිසා ඉදිරි වාරයේ ගල් අඟුරු ආනයනය කිරීමට ඔක්තෝබර් මාසයේ සිට ටෙන්ඩර් කැඳවීමට සිදුවනවා. අපි දැනටමත් සැප්තැම්බර් සඳහා නැව්ගත කිරීම් නවයක් ලබාගෙන තිබෙනවා. නැව්ගත කිරීම් නියමිත වේලාවට පැමිණෙන නිසා ගල් අඟුරු සැපයුමේ කිසිදු ගැටලුළුවක් නැහැ. මේ වාරයේ ගල් අඟුරු අවශ්‍යතාව අපි නොරොච්චෝලේ බලාගාරයට ලබාදෙනවා.” යැයි ඔහු පැවසීය.

වැට් බදු බලපෑම සම්බන්ධයෙන් සභාපතිවරයා සඳහන් කළේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගල් අඟුරු සමාගමේ මූල්‍ය අංශ හසුරුවන බවයි.

“සියලු ගෙවීම් ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිදුකරනු ලබන අතර මේ වනවිට අපි වැට් බද්ද ගෙවා අවසන්. වැට් බද්ද පාරිභෝගිකයන්ට ලබාදෙනවාද නැද්ද යන්න තීරණය කළ යුත්තේ විදුලිබල මණ්ඩලයයි. දර්ශක මිල අනුව ගල් අඟුරු මිලදී ගන්නා බැවින් වැට් බදු වැඩිකිරීම ගල් අඟුරු මිලට බලපාන්නේ නැහැ. වැට් යනු විදුලිබල මණ්ඩලය විසින් අවශ්‍ය ආයතනයට ගෙවිය යුතු දෙයක් ” යැයි ඔහු පැහැදිලි කළේය.

ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා අවධාරණය කළේ සමාගම ලෝක වෙළඳපොළ ප්‍රවණතා නිරීක්ෂණය කරමින් මිල ගණන් සැළකිව යුතු ලෙස පහත වැටෙන සෑම අවස්ථාවකම ස්ථානීය ටෙන්ඩර් සඳහා යෑමට සූදානම් බවයි.

“මේ වනවිට ගල් අඟුරු මිල ටොන් එකකට ඩොලර් 104 දක්වා අඩු වී තිබෙනවා. සාමාන්‍යයෙන් මේ කාලය වනවිට මිල වැඩිවිය යුතු නමුත් මේ වසරේ මිල පහත වැටී තිබෙනවා. ජනවාරි මාසයේදී, අපි ඩොලර් 5ක වැඩිවීමක් අපේක්ෂා කරනවා. කෙසේවෙතත්, දැනට වෙළඳපොළ ඉතා වෙනස්වනසුළු බැවින් දිගු කාලීන ටෙන්ඩර් තීරණය කිරීමට සුදුසු වන්නේ නැහැ. නමුත් මිලෙහි සැළකිව යුතු පහත වැටීමක් නිරීක්ෂණය කළ පසු ඒ අනුව ගල් අඟුරු මිලදී ගැනීමට කටයුතු කරනවා.” යනුවෙන් ඔහු පැහැදිලි කළේය.

තාප විදුලිය නිෂ්පාදනය සඳහා වාර්ෂික ගල් අඟුරු අවශ්‍යතා ඊළඟ වසරේ ඔක්තෝබර් සිට මාර්තු දක්වා එකතු කර ගල් අඟුරු අංගනයේ ගබඩා කර අඛණ්ඩ විදුලි උත්පාදනය සඳහා යොදාගැනේ.

අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා නොරොච්චෝලේ ප්‍රදේශයේ මුහුද රළු වන බැවින් ගල් අඟුරු ගොඩබෑමට නොහැකි වන අතර ගල් අඟුරු රැගත් නැව්වලට බලාගාරයේ ජැටිය වෙත ළඟා විය නොහැක.

නොරොච්චෝලේට පැමිණෙන නැව් මගින් රැගෙන එන ගල් අඟුරු ප්‍රමාණය දළ වශයෙන් ටොන් 65,000ක් වන අතර බලාගාරයේ අවශ්‍යතා අනුව වසරකට ආසන්න වශයෙන් නැව්ගත කිරීම් 35ක් අපේක්ෂා කෙරේ.

කෙසේවෙතත්, වැට් බදු වැඩි කිරීම මහජනතාව මට පටවනවාද නැද්ද යන්න පිළිබඳ ජනවාරි 15 වැනිදා තීරණයකට එළඹෙන බව විදුලිබල මණ්ඩල සභාපති නලින්ද ඉලංගකෝන් ප්‍රකාශ කරයි.

(The Morning)

42.31%
17.27%
32.76%