February 22, 2024

ශ්‍රී ලංකාව සමග දඹුල්ල ක්‍රිකට් ක්‍රිඩාංගණයේදි ඊයේ පැවැති තුන්වැනි පන්දුවාර 20 තරගය ලකුණු 03කින් ජයග්‍රහණය කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට හැකිවිය.

එහිදී තරගයේ අවාසාන පන්දුවාරයේ හතරවැනි පන්දුව නිපන්දුවක් බවට තීරණය නොකිරීම සම්බන්ධයෙන් දැඩි විවේන පිටියේ විනිසුරුවන්ට එල්ලවිය.

⁣කමිදු මෙන්ඩිස්ගේ ඉණට ඉතා ඉහළින් ෆුල්ටොස් පන්දුවක් ලෙස ඇදි ගිය එම පන්දුව නිපන්දුවක් ලෙස තීරණය නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග ඇතුලු ක්‍රිඩකයෝ මෙන්ම කණ්ඩායම් පුහුණුකරු ක්‍රිස් සිල්වහුඩ්ද ඒ මොහොතේ ‘ලෙග් විනිසුරු’ ලෙස කටයුතු කල ශ්‍රී ලංකාවේ ලින්ඩාල් හැනිබල්ට තරගයෙන් අනතුරුව පිටිය තුළදි දැඩි විවේචන එල්ල කරනු ලැබූහ.

තරගයෙන් අනතුරුව පැවැති ජනමාධ්‍ය හමුවේදි ද ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදි ශ්‍රී ලංකා පන්දුවාර 20 නායක වනිදු හසරංග කියාසිටියේ පැහැදිලිව ⁣පෙනෙන නිපන්දුවක් හඳුනාගත නොහැකි අයෙක් අන්තර්ජාතික විනිසුරුකමකට සුදුසු නොවන හෙයින් ඔහු වෙනත් රැකියාවක් සොයාගැනීම සුදුසු බවයි.

එවැනි අවස්ථාවන් හිදි විනිසුරු තීරණ අභියෝග කිරීමේ අවස්ථා පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නැවත සමාලෝචනයක් කිරීම සුදුසු බවද වනිඳු හරසංග එම ජනමාධ්‍ය හමුවේදී අවධාරණය කර සිටියේය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර 20 තුළ කඩුලු 05කට ලකුණු 209ක් රැස්කළ අතර, එහිදී රහමනුල්ලා ගුර්බාස් ලකුණු 70ක් රැස්කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා පිලට පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 206ක් පමණි.

එහිදි අබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වු පැතුම් නිශ්ශංක ලකුණු 60ක් සහ සිය මංගල පන්දුවාර 20 අර්ධ ශතකය රැස්කරමින් සටන්කාමි ඉනිමක් ක්‍රීඩාකළ කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 65ක් රැස්කළහ.

අවසන් තරගය ලකුණු 03කින් පරාජයට පත්වුවද ශ්‍රී ලංකාව පන්දුවාර 20 තරගාවලිය දෙකට එකක් ලෙස ජයග්‍රහණය ක⁣⁣ළේය.