April 8, 2025

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී ආරක්ෂක සහයෝගීතාව සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම දකුණු ඉන්දීය දේශපාලනඥ වයිකෝ විසින් හෙළාදැක තිබේ.

‘ද හින්දු’ පුවත්පත වාර්තා කරන පරිදි ඉන්දීය Marumalarchi Dravida Munnetra Kazhagam (MDMK) පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා වන වයිකෝ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, අග්‍රාමාත්‍ය මෝදි ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ සාකච්ඡා කළ බව සහ දෙපාර්ශවය දෙරටේ ආරක්ෂක හමුදා අතර සහයෝගීතාවය ඇතුළත් අවබෝධතා ගිවිසුම් හතකට අත්සන් තබා ඇති බවයි.

“සිවිල් යුද්ධයේදී ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව ලක්‍ෂ 1.37කට අධික ශ්‍රී ලාංකික දෙමළ ජනතාවක් සමූල ඝාතනය කළ අතර, දහස් ගණන් කාන්තාවන්ට ලිංගික අතවර කර තිබේ . ඔවුන් පුද්ගලයන් රැසක් අමානුෂික ලෙස ඝාතනය කරමින් විමුක්ති ව්‍යාපාරය ද මර්දනය කළා” වයිකෝ පවසා තිබේ.

“ජන සංහාරය ගැන විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා හමුදාව හේග්හි අන්තර්ජාතික අධිකරණයට ගෙන ඒමට දෙමළ ප්‍රජාවට අවශ්‍ය වූ අවස්ථාවක, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබුණු ආරක්ෂක ගිවිසුම දැඩි ලෙස හෙළාදැකිය යුතුය,” ඔහු වැඩිදුරටත් පවසා ඇත.