November 23, 2023

වෛද්‍ය නිර්දේශයකින් තොරව ප්‍රතිජීවක භාවිත කිරීමෙන් සිරුරේ පැවැත්මට අවශ්‍ය බැක්ටීරියා මිය යා හැකි අතර, ශරීරය තුළ ප්‍රතිරෝධී බැක්ටීරියා නිර්මාණයවීමෙන්, සමාජය පුරා පැතිර යන රෝගවලින්, වසර 50කින් පමණ සියලුදෙනාම මරණයට පත්විය හැකි බව රිජ්වේ රෝහලේ ආර්යා ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා අනතුරු අඟවයි.

නොවැම්බර් 18 සිට 24 දක්වා පැවැත්වෙන ‘ලෝක ප්‍රතිජීවක දැනුවත් කිරීමේ සතිය’ පිළිබඳව අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියාසිටියේ, ලොව ප්‍රතිජීවක විශේෂඥයන් පර්යේෂණ මගින් මෙය සොයාගෙන ඇති බවයි.

ප‍්‍රතිජීවක ඖෂධ මගින් බැක්ටීරියාවන් දුර්වල කර විනාශ කරන අතර, ඖෂධ අධික වුවහොත් හිතකර බැක්ටීරියා ද විනාශ වන බව වෛද්‍ය පෙරේරා පෙන්වාදෙයි.

එමනිසා අවශ්‍ය අවස්ථාවලදී හැර අනවශ්‍ය ලෙස දරුවන්ට ප්‍රතිජීවක ඖෂධ ලබානොදෙන ලෙස ඔහු මාපියන්ගෙන් ඉල්ලා සිටී.

දරුවන්ට අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ලබාදීමෙන් ඔවුන්ගේ ශරීරය තුළ ප්‍රතිජීවකවලට ප්‍රතිරෝධයක් ඇති වේ.

ප්‍රතිජීවක ඖෂධ භාවිතා කළ යුත්තේ බැක්ටීරියා ආසාදනවලදී අවශ්‍ය නම් පමණි.

අදාළ පුද්ගලයාගේ වයස සහ බර ඇතුළු බොහෝ සාධක සැළකිල්ලට ගනිමින් වෛද්‍යවරු ප්‍රතිජීවක නිර්දේශ කරති.

“වෛරස් උණ සහ පාචනය සඳහා ප්‍රතිජීවක අවශ්‍ය නැහැ. කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ සුළු තුවාල සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබාගත යුත්තේ වෛද්‍ය නිර්දේශය මත පමණයි” වෛද්‍ය පෙරේරා පවසයි.

ප්‍රතිජීවක සඳහා වන අධික මිල හේතුවෙන් ලොව පුරා ප්‍රතිජීවක පිළිබඳ පර්යේෂණ අවම මට්ටමක පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ඉදිරියේදී නව ප්‍රතිජීවක සොයාගැනීමට නොහැකි වුවහොත් බැක්ටීරියා ආසාදන හේතුවෙන් සියලුදෙනාම මියයන බවද ඔහු අනතුරු අඟවයි.