May 18, 2024

ජූනි මාසයේ යෙදී ඇති සමලිංගික ප්‍රජාවගේ අභිමානවත් මාසය තුළ ලොව පුරා ඔවුන් විසින් සංවිධාන කරන උත්සව සහ වැදගත් අවස්ථා ඉලක්ක කිරීමට විදේශීය ත්‍රස්ත සංවිධාන උත්සාහ කළ හැකි බවට එක්සත් ජනපද නිලධාරීන් අනතුරු අඟවා තිබේ.

එම බලධාරීන් විදේශගත අමෙරිකානු පුරවැසියන්ට අනතුරු අඟවා ඇත්තේ, වැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසයි.

“අභිමානවත් මාසයේ සැමරුම් ඇතුළු සංචාරකයන් නිතර ගැවසෙන ස්ථානවල විමසිල්ලෙන් සිටින්න” යනුවෙන් රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද අනතුරු ඇඟවීමේ නිවේදනයක දැක්වේ.

අමෙරිකාවේ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් ද මේ සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක් සිදුකර තිබූ බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කර ඇත.

ඒ අනුව අමෙරිකාවේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) සහ ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව (DHS) පවසා ඇත්තේ විදේශීය ත්‍රස්තවාදී සංවිධාන හෝ ආධාරකරුවන් එළඹෙන ජුනි මාසයේ පැවැත්වීමට නියමිත අභිමානවත් මාසය හා සම්බන්ධ වැඩසටහන් ඉලක්ක කළහැකි බවයි.

අනතුරු ඇඟවීම්වල නිශ්චිත රැස්වීම් හෝ ස්ථාන සඳහන් කර නොතිබුණද, එම ආයතන සඳහන් කළේ 2023 පෙබරවාරි මාසයේදී ඉංග්‍රීසියෙන් බෙදාහරින ලද ඉස්ලාමීය රාජ්‍ය (IS) කණ්ඩායමේ පණිවිඩවල සමලිංගික, ද්වීලිංගික, සංක්‍රාන්ති ලිංගික, ප්‍රශ්න කිරීම් සහ අන්තර් ලිංගිකත්වයට එරෙහිව ප්‍රකාශ ඇතුළත් වූ බවයි.

2016 ජූනි මාසයේදී ෆ්ලොරිඩාවේ ඔර්ලන්ඩෝ හි සමලිංගික රාත්‍රී සමාජ ශාලාවක් වන Pulse හිදී IS මතවාදයෙන් ආභාෂය ලැබූ පුද්ගලයෙකු එල්ල කළ වෙඩි තැබීම් හේතුවෙන් පුද්ගලයින් 49 දෙනෙකු මිය ගොස් තවත් 53 දෙනෙකුට තුවාල සිදුවිය.