April 11, 2025

එක්සත් ජනපදයෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා පනවා ඇති තීරුබදු සියයට 84 සිට සියයට 125 දක්වා ඉහළ දමන බව චීනය පවසයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද දැවැන්ත තීරුබදු ගැන සඳහන් කරමින්, එම ඒකපාර්ශ්වික හිරිහැරයට එරෙහි වීමට චීනය සමඟ අත්වැල් බැඳගන්නා ලෙස ජනාධිපති ෂී ජින්පින් යුරෝපා සංගමයෙන් ඉල්ලා පැය කිහිපයකට පසුව මෙම තීරුබදු ප්‍රකාශයට පත්කර තිබේ.

සෙනසුරාදා සිට ක්‍රියාත්මක වන නව බද්ද, ට්‍රම්ප් මේ සතියේ චීනය සඳහා තීරුබදු සියයට 145 දක්වා ඉහළ නැංවීමෙන් පසුව ප්‍රකාශයට පත්කරන ලද චිනයේ නවතම බදු පැනවීමයි.

එය ලෝකයේ බලවත්ම ආර්ථිකයන් දෙක අතර පවතින වෙළඳ යුද්ධය තවදුරටත් තීව්‍ර කිරීමක් බව අන්තර්ජාතික විචාරකයෝ පවසති.

වර්තමාන තීරුබදු මට්ටම අනුව, චීනයට අපනයනය කරන එක්සත් ජනපද භාණ්ඩ සඳහා වෙළඳපොළ පිළිගැනීමේ හැකියාවක් නොමැති බැවින් එක්සත් ජනපදයේ ඉදිරි ක්‍රියාමාර්ග නොසලකා හරින බව චීන මුදල් අමාත්‍යාංශය සඳහන් කරති.

එක්සත් ජනපදය විසින් චීනය මත අසාමාන්‍ය ලෙස ඉහළ තීරුබදු වටයක් පැනවීම ආර්ථික විද්‍යාවේ ප්‍රායෝගික වැදගත්කමක් නොමැති සංඛ්‍යා ක්‍රීඩාවක් බවට පත්ව ඇතැයි එම අමාත්‍යංශය පවසයි.

එක්සත් ජනපදය තීරුබදු අංක ක්‍රීඩාව දිගටම ක්‍රීඩා කරන්නේ නම්, චීනය එය නොසලකා හරිනු ඇතැයි එහි ප්‍රකාශකයකු සඳහන් කර ඇත.

ජනාධිපති ට්‍රම්ප්ගේ තීරුබදු මගින් මුදාහරින ලද ගෝලීය ආර්ථික කැළඹීම සඳහා එක්සත් ජනපදය සම්පූර්ණ වගකීම දැරිය යුතු බව ද චීනය අවධාරණය කර තිබේ.