July 19, 2023

විනය ක්‍රියාමාර්ගයකට මුහුණදී සිටින අමෙරිකානු සොල්දාදුවකු අඟහරුවාදා(18) අන්තර් කොරියානු දේශසීමාව හරහා උතුරු කොරියාවට පළායෑම හේතුවෙන්, වොෂින්ටනය නව අර්බුදයකට මුහුණදී සිටින බව වාර්තා වේ.

උතුරු කොරියාවට ඇතුළුවූ මෙම අමෙරිකානු සොල්දාදුවා, මේ වන විට එරට ආරක්ෂක අංශ අත්අඩංගුවේ පසුවන බව වාර්තා සඳහන් කරයි.

දකුණු කොරියාවේ එක්සත් ජනපද හමුදාව දේශසීමාව ආසන්නයේ සිදුකළ අභ්‍යාසයක් අතරතුර, එකවරම “හා..හා..” යනුවෙන් සිනාසුණු මෙම සෙබළා, උතුරු කොරියානු කලාපයට දිවගොස් ඇති බව ඔහුගේ සමීපතමයන් පවසා ඇත.

එක්සත් ජනපද හමුදාවට 2021 දී සම්බන්ධ වූ මෙම සොල්දාදුවා ට්‍රැවිස් ටී කිං ලෙස හඳුනාගෙන ඇත.

උතුරු කොරියාව පසුගිය සතියේ දියත් කරන ලද නව ඝන ඉන්ධන අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් ඇතුළුව න්‍යෂ්ටික යුධ හිස් රැගෙන යා හැකි වඩ වඩාත් බලවත් මිසයිල අත්හදා බලමින් සිටී.

එසේම, උතුරු කොරියාව අඟහරුවාදා ජපානයට ආසන්න මුහුදට තවත් බැලස්ටික් මිසයිලයක් එල්ල කළ බව දකුණු කොරියානු හමුදාව උපුටා දක්වමින් දකුණු කොරියාවේ යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත.

සොල්දාදුවා පලාගොස් ඇත්තේ මෙවැනි අතතිමය තත්වයක් මැදය.

ධවල මන්දිර ප්‍රකාශිකා ජීන් පියරේ (Karine Jean-Pierre) පවසාඅ ඇත්තේ, පෙන්ටගනයේ එක්සත් ජනපද නිලධාරීන්, රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය “වැඩිදුර තොරතුරු සොයා ගැනීමට සහ මෙම තත්ත්වය විසඳීමට” කටයුතු කරමින් සිටින බවයි.