April 24, 2024

TikTok තහනම් කළ හැකි ආන්දෝලනාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරන කෙටුම්පතක් එක්සත් ජනපද සෙනෙට් සභාව විසින් අනුමත කර තිබේ.

එමගින් TikTokහි චීන හිමිකරු වන ByteDance හට එහි කොටස් විකිණීමට මාස නවයක කාලයක් ලබා දී ඇති අතර නැතහොත් එම යෙදුම එක්සත් ජනපදයේ අවහිර කරනු ඇත.

පනත එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් වෙත යොමු කිරීමට නියමිත අතර, එය ඔහුගේ කාර්යාලයට ලැබුණු වහාම එය නීතියක් බවට පත්කිරීම සඳහා අත්සන් කරන බව පවසා තිබේ.

එය සිදු වුවහොත් බලහත්කාර අලෙවියක් සම්පූර්ණ කිරීම සඳහා ByteDance හට චීන නිලධාරීන්ගෙන් අනුමැතිය ලබා ගැනීමට සිදුවනු ඇතත් ඊට විරුද්ධ බව චීනය දැනටමත් ප්‍රකාශකර තිබේ.

විශ්ලේෂකයන් පවසන්නේ මෙම ක්‍රියාවලිය වසර ගණනාවක් ගත විය හැකි බවයි.

යුක්රේනය, ඊශ්‍රායලය, තායිවානය සහ ඉන්දු පැසිෆික් කලාපයේ අනෙකුත් එක්සත් ජනපද හවුල්කරුවන් සඳහා මිලිටරි ආධාර ද ඇතුළත් පනත් හතරක පැකේජයක කොටසක් ලෙස මෙම පියවර සම්මත කර තිබේ.

එයට නීති සම්පාදකයන්ගෙන් පුළුල් සහයෝගයක් ලැබුණු අතර සෙනෙට් සභිකයින් 79 දෙනෙකු එයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර 18 දෙනෙකු එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබිණි.

“අනතුරුදායක ලෙස දුරදිග නොබලා වසර ගණනාවක් තිස්සේ අපි චීන කොමියුනිස්ට් පක්ෂයට අමෙරිකාවේ වඩාත්ම ජනප්‍රිය යෙදුමක් පාලනය කිරීමට ඉඩ දී තිබෙනවා, ” යනුවෙන් බුද්ධි අංශ කමිටුවේ ඉහළම රිපබ්ලිකානු සෙනෙට් සභික මාර්කෝ රුබියෝ පවසයි.

“නව නීතිය මගින් එහි චීන හිමිකරුට යෙදුම විකිණීමට සිදුවනවා. මෙය අමෙරිකාවට හොඳ පියවරක්,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

පසුගිය සතියේ TikTok සමාජ මාධ්‍ය සමාගම කියා සිටියේ මෙම පනත මගින් අමෙරිකානුවන් මිලියන 170කගේ නිදහස් කථන අයිතිය පාගා දමනු ඇති බවයි.

ව්‍යාපාර මිලියන හතක් විනාශ කරන අතර වාර්ෂිකව එක්සත් ජනපද ආර්ථිකයට ඩොලර් බිලියන 24ක් දායක වන වේදිකාවක් වසා දමනු ඇති” බවයි.

TikTok හි ප්‍රධාන විධායක, Shou Zi Chew, පසුගිය මාසයේදී පවසා තිබුණේ සමාගම විසින් සිය වේදිකාව ආරක්ෂා කිරීම සඳහා එහි නීත්‍යනුකූල අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම ඇතුළුව කළ හැකි සියල්ල අඛණ්ඩව කරගෙන යන බවයි.

රිච්මන්ඩ් විශ්වවිද්‍යාලයේ නීති මහාචාර්ය කාල් ටෝබියස් පවසන්නේ දිගු නීතිමය අරගලයක් අනුගමනය කිරීමට ඉඩ ඇති අතර එයට වසර දෙකක් පමණ ගත විය හැකි බවයි.