August 7, 2023

ඉදිරි මහ කන්නයේ දී බෙදා හැරීම සඳහා ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) යූරියා පොහොර මෙට්‍රික් ටොන් 8,360ක් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත භාර දී ඇත.

ජපාන රජයේ අරමුදල් හරහා මෙය සිදුකර ඇති බව එම සංවිධානය සඳහන් කරයි.

මෙරට වියළි හා අතරමැදි කලාපවල දිස්ත්‍රික්ක කිහිපයක කුඩා පරිමාණ වී ගොවීන් 228,000කට අධික පිරිසකට මෙම අත්‍යවශ්‍ය පොහොර බෙදාහරිනු ලබයි.

ඒ අනුව, කුරුණෑගල, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, වවුනියාව, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල හෙක්ටයාර් එකක් දක්වා වගාකරන කුඩා පරිමාණ ගොවීන් මෙම ආධාරය සඳහා ඉලක්කගත ප්‍රජාව වේ.

මෙම ආධාර වැඩසටහන යටතේ හෙක්ටයාර 0.5 දක්වා වගාකරන ගොවීන්ට යූරියා පොහොර කිලෝග්‍රෑම් 25ක් ලැබෙන අතර, හෙක්ටයාර් 01ක් දක්වා වගා කරන අයට යූරියා කිලෝග්‍රෑම් 50ක් කිසිදු වියදමකින් තොරව ලබාදේ.

මෙම ආධාර ශ්‍රී ලංකාවේ ගොවි ප්‍රජාවන්ගේ අභිවෘද්ධියට සැළකිවයුතු දායකත්වයක් සපයනු ඇතැයි විශ්වාස කරන බව ජපාන තානාපති MIZUKOSHI Hideaki පවසයි.