January 18, 2025

ජාතික ජන බලවේග රජය විසින් අමෙරිකානු ඩොලර් බිලියන 3.7ක තෙල් පිරිපහදු ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම් අත්සන් කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂ රජය විසින් අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක එකඟතාවක් ඇතිකර ගත් තෙල් පිරිපහදු ව්‍යාපෘතියක් සඳහා බවට පළවන ප්‍රකාශ අතරතුර එක්සත් ජාතික පක්ෂය විසින් හම්බන්තොට පිරිපහදු ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

එම ව්‍යාපෘතිය සඳහා සිල්වර් පාර්ක් ඉන්ටර්නැෂනල් සමඟ ඉදිරියට යෑමට තිබූ ගිවිසුම ඉදිකිරීම් ප්‍රමාදයන් හේතුවෙන් 2023 අග භාගයේදී අවසන් කිරීමෙන් පසුව අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක ගිවිසුම ඇති කරගත් බව එක්සත් ජාතික පක්ෂය පැහැදිලි කරයි.

පසුව, 2023 නොවැම්බර් මාසයේදී, එම ස්ථානයේම පිරිපහදුවක් ඉදිකිරීම සඳහා චීනයේ සිනොපෙක් සමඟ අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක නව ගිවිසුමක් අනුමත කර ඇත.

මෙය කංචන විජේසේකර විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පරිපාලනය යටතේ ලැබූ ජයග්‍රහණයක් බවත් එම පක්ෂය අවධාරණය කරයි.

හම්බන්තොට මිරිජ්ජවිල සංවර්ධනය කිරීමට නියමිතව තිබූ ග්‍රීන්ෆීල්ඩ් තෙල් පිරිපහදුව ලෙසද හැඳින්වෙන හම්බන්තොට පිරිපහදුව සඳහා වන මූලික යෝජනාව සහ සැලසුම් එක්සත් ජාතික පක්ෂය විසින් මෙලෙස විස්තර කර තිබේ.

මෙම ව්‍යාපෘතිය පුළුල් ආර්ථික සංවර්ධන වැඩසටහනක කොටසක් වූ අතර, සිංගප්පූරුවේ සිල්වර් පාර්ක් ඉන්ටර්නැෂනල් (පුද්ගලික) සමාගම (ඉන්දියාවේ ඇකෝඩ් සමූහය විසින් පාලනය කරනු ලැබේ) සහ ඕමානයේ තෙල් හා ගෑස් අමාත්‍යාංශය ඇතුළත් වූ සම්මේලනයක් විසින් මෑතකදී ප්‍රකාශ කළ පරිදි අමෙරිකානු ඩොලර් බිලියන 3.7ක් නොව අමෙරිකානු ඩොලර් බිලියන 3.85ක ආයෝජනයක් සඳහා 2019 මාර්තු මාසයේදී ගිවිසුමක් අත්සන් කර ඇත.

අක්කර 585ක භූමි ප්‍රමාණයක දිනකට බැරල් 200,000ක ධාරිතාවයකින් යුත් පිරිපහදුවක් ඉදිකිරීම මෙම ගනුදෙනුවට ඇතුළත් වී තිබී ඇත.

සිල්වර් පාර්ක් ඉන්ටර්නැෂනල් සමාගම ව්‍යාපෘතියේ සියයට 70ක කොටස් හිමිකර ගැනීමට නියමිතව තිබූ අතර ඉතිරි සියයට 30 ඕමානයට හිමි විය.

ගිවිසුම අත්සන් කරන අවස්ථාවේදී, එය ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ විශාලතම තනි විදේශ සෘජු ආයෝජනය ලෙස ප්‍රකාශ කරන ලදී.

මුල්ගල් තැබීමේ උත්සවය 2019 මාර්තු 24 වැන දින එවක අගමැති රනිල් වික්‍රමසිංහගේ සහභාගීත්වයෙන් පැවැත් වී ඇත.

ඉදිකිරීම් මාස 44ක් ඇතුළත අවසන් කිරීමට අපේක්ෂා කරන ලදී.

මෙම ව්‍යාපෘතිය මගින් සැළකිව යුතු අපනයන ආදායමක් ජනනය කරනු ඇතැයි අපේක්ෂා කරන ලද අතර, එය වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන 7ක් ලෙස ඇස්තමේන්තු කර තිබී ඇත.

රැකියා දහස් ගණනක් නිර්මාණය කරනු ඇති බවට ද විශ්වාස කෙරිණි.

ඉදිකිරීම් ප්‍රමාදයන් හේතුවෙන් සිල්වර් පාර්ක් ඉන්ටර්නැෂනල් සමඟ වන ගිවිසුම 2023 අග භාගයේ අවසන් කර තිබේ.

පසුව, 2023 නොවැම්බර් මාසයේදී, එම ස්ථානයේම පිරිපහදුවක් ඉදිකිරීම සඳහා චීනයේ සිනොපෙක් සමඟ අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක නව ගිවිසුමක් අනුමත කර ඇත.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය විසින් කරන ලද වැරදි අර්ථකථන සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය අවධානය යොමු කළ බවත් මුල් ගිවිසුම සහ අත්තිවාරම රනිල් වික්‍රමසිංහගේ පරිපාලනය විසින් සකස් කරන ලද බවත් එම පක්ෂය අවධාරණය කරයි.

පෙර රජයේ රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික උත්සාහයන් යටපත් නොකළ යුතු බව ද එම පක්ෂය සඳහන් කරයි.

රටේ ආර්ථිකය අඛණ්ඩතාව පවත්වා ගැනීම සඳහා කළ කාර්යයන්ට ගෞරවය ලැබිය යුතු තැන ලබා දෙන බව සහතික කිරීමට මෙම කරුණු දැක්වීම කළ බව එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කරයි.

42.31%
17.27%
32.76%