September 13, 2024

වාකරේ, කායන්කරන් සෙල්වපුරම් පුදේශයේ නිවෙසකට විමර්ශනයක් සඳහා පෙරේදා (11) වාකරේ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් සිටියදී බිරිඳට ඇඳුම් උණාදමා නිරුවතින් එළියට පැන පළායන ලෙසට උපදෙස් දුන් ඇගේ සැමියා අත්අඩංගුවට ගත් බව වාකරේ පොලිසිය සදහන් කරයි.

අත්අඩංගුවට ගැනුණු මෙම සැකකරු සමග පැමිණ සිටි 18 හැවිරිදි තරුණයෙකු ද මේ සමග අත්අඩංගුවට ගෙන ඇත.

සැමියාගේ අණට කීකරු වෙමින් උඩුකයට ඇඳ සිටි ටී ෂර්ටය ගලවා කැකෝ ගසමින් නිවසින් එළියට පැන්නේ යැයි කියන කාන්තාව ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

වාකරේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් තොරතුරක් මත සෙල්ලපුරම ප්‍රදේශයේ නිවෙසක් සෝදිසි කිරීමට ගොස් ඇත.

නිවෙසේ ඇඳක් යට යතුරුපැදියක කොටස් ගණනාවක් තිබි හමුවී ඒවා පොලිස් භාරයට ගෙන ඇත.

මෙම යතුරුපැදි කොටස් මීට පෙර සොරාගෙන ගොස් තිබූ යතුරුපැදියේ ඒවා බවට තහවුරුවීම නිසා ඒවා පොලිස් භාරයට ගත් බව පොලිසිය පවසයි.

මේ ගැන කාන්තාවගෙන් විමසීමේදී නිවෙසේ කිසිවකු නොමැති අවස්ථාවක කවුරුන් හෝ මේවා ඇඳයට දමා යන්නට ඇතැයි ප්‍රකාශ කර නිවෙසේ තිබූ රන්මුදු දෙකක් ද සොරාගෙන ඇති බවට පොලිස් නිලධාරීන් සමග පවසා ඇතැයි කියති.

ඒ ගැන පැමිණිලි කිරීමට පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස ඇයට පොලිස් නිලධාරීන් දැනුම් දීමක් කර ඇත.

මේ අවස්ථාවේ කාන්තාවගේ සැමියා සහ තවත් තරුණයකු නිවෙසට කඩාවැදී කලහකාරී ලෙස හැසිරීමෙන් පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පා රාජකාරී කටයුතුවලට බාධා කර තිබෙන බව පොලිසිය සඳහන් කළේය.

වැඩිදුරටත් කාන්තාවගේ සැමියා සිය බිරිඳට ඇඳ සිටින ඇඳුම් උනාදමා කැකෝ ගසමිත් නිවසින් එළියට පැනගන්නා ලෙස අණ කර ඇති අතර ඇය එම නියෝගයට අවන්ත වෙමින් උඩුකයට ඇඳ සිටි ටී ෂර්ටය ගල්වා දමා එසේ කර ඇතැයි පොලිසිය කියයි.

මෙම කාන්තාවගේ සැමියා සහ ඔහු සමග පැමිණ සිටි තරුණයා ද කතුරක් සහ නියනක් ගෙන ඒවායින් පොලිස් නිලධාරීන්ට ඇනීමට උත්සාහ කළ බව කියන අවස්ථාවේ වැළැක්වීමට ගිය සැරයන්වරයකුට තුවාලවී ඔහුගේ නිල ඇඳුම ද එම කතුරට කැපී හානි සිදුවී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

තුවාල ලැබූ සැරයන්වරයා වාලචේන රෝහලට ඇතුළත් වි ප්‍රතිකාර ලබමින් පසුවේ.(ලංකාදීප)