January 28, 2024

ක්‍රියාකාරී ආරක්‍ෂක අංශ සාමාජිකයන් විශාල පිරිසක් පාතාල කල්ලිවල කුලී ඝාතකයන් ලෙස කටයුතු කරන බවත් මෑතක දී එල්ල වූ ප්‍රහාරවලින් සැළකිව යුතු ප්‍රමාණයක් ඔවුන් විසින් සිදු කර ඇති බවත් පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

ඔවුන්ගෙන් ඇතැමෙක් රාජකාරි වේලාවන්හිදී කඳවුරුවලින් පිටව ගොස් තම සේවා අවි භාවිත කරමින් පුද්ගලයන් ඝාතනය කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙය බරපතළ තත්ත්වයක් බවත් රජය වහා පියවර නොගතහොත් අවුල් ජාලාවක් ඇති වන බවත් ඔහු පැවසීය.

මෙම වැරදිකරුවන්ගෙන් සමහරක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති අතර තවත් සමහරු දැඩි මූල්‍ය පීඩනයකට ලක්ව සිටිති.

ඝාතන කොන්ත්‍රාත් ගත් එවැනි නිලධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

පසුගියදා අම්බලන්ගොඩ ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමට පැමිණි සක්‍රීය ආරක්ෂක අංශ සාමාජිකයන් දෙදෙනෙකු පොලීසිය විසින් ඔවුන්ගේ රාජකාරි අවි සමඟ අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබිණි.

මෙම සෙබළුන් අත්අඩංගුවට ගැනීමේදී විමර්ශකයින් බරපතළ ගැටලුවලට මුහුණ පාන්නේ අපරාධය සිදුවන අවස්ථාවේ ඔවුන් රාජකාරියේ යෙදී සිටි බවට සටහන් තිබීම හේතුවෙනි.

එහෙත් ආරක්‍ෂක අංශ සාමාජිකයා හොර රහසේ සිය කඳවුරෙන් පිටතට පැමිණ සිය ඉලක්කය සපුරාගෙන නැවත සූක්‍ෂම ලෙස කඳවුර වෙත ගොස් රාජකාරියේ යෙදී සිටියි.

පොලිස් ඇසට වැලි ගසමින් සිය ඝාතන ඉලක්කයන් සපුරා ගැනීම සඳහා පාතාල නායකයන් සක්‍රීය සේවයේ යෙදී සිටින ආරක්‍ෂක අංශ සාමාජිකයන් මේ ආකාරයට යොදා ගන්නා බව පොලිසිය පවසයි.

මේ හේතුවෙන් දකුණේ මිනීමැරුම් මාලාවක් සිදුකළ අපරාධකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි වී තිබේ.

ඒවා ක්‍රියාකාරී ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් රාජකාරී වේලාවන් තුළ සිදු කළ අපරාධ විය හැකි බවට පොලිසිය සැක කරයි.

 

42.31%
17.27%
32.76%