April 13, 2024

ශ්‍රී ලංකාවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන් පවතින ‘අවිනිශ්චිතභාවය’ රටේ ආර්ථික දැක්මෙහි පහත වැටීමේ ප්‍රවණතාවක් ඇති කිරීමට හේතු වනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව (ADB) පවසයි.

ශ්‍රී ලංකාව මේ වසරේ අවසාන කාර්තුවේදී ජනාධිපතිවරණයකට මුහුණ දීමට නියමිත අතර පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේ මැද භාගයේදී පැවැත්වීමට නියමිතය.

ADB පවසන්නේ, මැතිවරණවලින් ජයගත හොත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල හා සම්බන්ධ වත්මන් ප්‍රතිසංස්කරණ ආපසු හැරවීමට විරුද්ධ පක්ෂ ප්‍රතිඥා දී ඇති හෙයින් රට තුළ දේශපාලන අවිනිශ්චිතතාවයක් මතුවිය හැකි බවයි.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අවදානම් ගෙනහැර දක්වමින් ආසියානු සංවර්ධන බැංකුව ඊයේ නිකුත් කළ දකුණු ආසියානු පරිච්ඡේදයේ ආර්ථික ප්‍රවණතා වාර්තාවේ සඳහන් කර ඇත්තේ, මැතිවරණ හා සම්බන්ධ අවිනිශ්චිතතාව හේතුවෙන් මූල්‍ය ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කෙරෙහි ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව අවධානය යොමුකළ යුතු බවයි.

ශ්‍රී ලංකාව තුළ ආර්ථික ප්‍රකෘතිමත් වීමේ සළකුණු දක්නට ලැබෙන අතර නැගී එන වර්ධනය 2023 දෙවන භාගයේදී යළි පණ ගැන්වී ඇති අතර, එය 2024 සහ 2025 වසරවලද වර්ධනය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව ආසියානු සංවර්ධන බැංකුව එම වාර්තාවේ සඳහන් කර ඇත.