February 29, 2024

පසුගිය සෙනසුරාදා (24) රාත්‍රියේ උණවටුන ප්‍රදේශයේ රුසියානු ජාතිකයන් විසින් සංවිධානය කළ බව කියන මතභේදාත්මක ‘සුදු ජාතිකයන්ට පමණයි’ තේමාවෙන් යුතු ‘ධවල රාත්‍රී සාදය’ට අන්තර්ජාලය හරහා දැඩි විවේචන එල්ල වීමත් සමග එය බලධාරීන්ගේ අවධානයට ලක්වීමෙන් පසු අවලංගු කෙරිණි.

ඒ සම්බන්ධයෙන් කොළඹ රුසියානු තානාපති කාර්යාලය පසුගියදා පැහැදිලි කිරීමක් නිකුත් කර තිබේ.

රුසියානු ඩීජේ සංගීත ශිල්පියකු විසින් සංවිධානය කළ මෙම සාදය ‘ෆේස් කොන්ට්‍රෝල් : වයිට්’ යනුවෙන් ප්‍රචාරය කිරීමෙන් පසු සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයට ලක්විය.

ප්‍රශ්න කළ විට, ඔහු විස්තර කර තිබුණේ එහි තේරුම ‘සුදු මිනිසුන් සඳහා පමණි , ප්‍රදේශවාසීන් නැත’ යන්න බවයි.

එමෙන්ම ඔහු සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි සඳහන් කර ඇත්තේ, සාදය සැලසුම් කිරීමේදී ‘ද්වේශ සහගත හෝ ජාතිවාදයක්’ නොමැති බවයි.

‘අපට අවශ්‍ය වූයේ දීර්ඝ කාලයක් මෙහි ජීවත් වන ශ්‍රී ලංකාවට ආදරය කරන විදේශිකයන් හමුවීමටයි. කණ්ඩායම මට සහයෝගය දුන්නා, ඉක්මනින් සාදයක් සංවිධානය කිරීමට.’

මේ සම්බන්ධයෙන් තර්ජන රාශියක් ලැබීමෙන් පසුව ඔහුට රට හැර යෑමට සිදු වූ බවද ඔහු සඳහන් කර ඇත.

‘මෙය විශාල පිරිසකට මෙතරම් සංවේදී අවස්ථාවක් වේ යැයි මම බලාපොරොත්තු වුණේ නැහැ. ඒක නරක අදහසක් කියල මම පිලිගන්නවා. ඒ වගේම මට තේරෙනවා අපිම අපේ මෝඩකමෙන් ඒක හැදුවේ කියලා. හිත රිදුණු හැමෝගෙන්ම මම සමාව ඉල්ලනවා.’

මෙම උත්සවය උණවටුනේ Sarayka Loungeහි පැවැත්වීමට නියමිතව තිබිණි.

එමෙන්ම Sarayka Loungeහි සංවිධායකවරයා මෙන්ම හිමිකරුවන්ද රුසියානු පුරවැසියන් බවට විශ්වාස කෙරේ.

උණවටුන ව්‍යවසායකයන්ගේ සංගමයක සභාපති රූපසේන කොස්වත්ත පැවසුවේ පසුගිය දෙවසර තුළ බොහෝ රුසියානුවන් ගාල්ලේ සිට කිලෝමීටර් 5ක් (සැතපුම් 3.1) පමණ දුරින් පිහිටි උණවටුන නගරයට පදිංචියට ගොස් ඇති බවයි.

මේ වනවිට “ලිට්ල් මොස්කව්” ලෙස බොහෝ දෙනා හඳුන්වනු ලබන එහි සංචාරක ව්‍යාපාර බොහොමයක් රුසියානුවන් සතුය.

42.31%
17.27%
32.76%