February 7, 2024

ශ්‍රී ලංකා මුහුදේ ආර්ථික කලාපයට ඇතුළු වීමට අවසර ලබා නොදුන් චීන පර්යේෂණ නෞකාවක් වන Xiang Yang Hong 3 මේ වනවිට එම කලාපය තුළ පර්යේෂණ කටයුතුවල නිරතව සිටින බව සමුද්‍රීය යාත්‍රා ලුහුබැඳීම සඳහා වන දත්ත පද්ධති වාර්තා කර තිබේ.

ඒ අනුව, එම යාත්‍රාව මේ වන විට ශ්‍රී ලංකාවේ නිරිතදිග මුහුදේ සමීක්ෂණ පවත්වන බව අනාවරණය වී ඇත.

ශ්‍රී ලංකා රජය සිය ආර්ථික කලාපයේ සමුද්‍ර ජීව විද්‍යා පර්යේෂණ සඳහා අවසරය ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණයෙන් පසුව, චීන පර්යේෂණ නෞකාවක් වන ‘Xiang Yang Hong 3’ මාලදිවයිනට හරවා යවා තිබේ.

2024 ජනවාරි 5 සිට පෙබරවාරි 20 දක්වා කාලය තුළ එම නෞකාව හරහා සමුද්‍ර ජීව විද්‍යා පර්යේෂණ කටයුතු සිදුකිරීම සඳහා ශ්‍රී ලංකාවේ අනුමැතිය සඳහා චීන තානාපති කාර්යාලය මීට පෙර ඉල්ලීමක් ඉදිරිපත් කර තිබිණි.

එහෙත්, කිසිදු විදේශීය පර්යේෂණ නෞකාවකට තම මුහුදු සීමාවේ ක්‍රියාත්මක වීමට අවසර ලබානොදීමට ශ්‍රී ලංකා රජය විසින් තීරණය කරන ලදී.

ශ්‍රී ලංකාව සිය මුහුදු සීමාවට ඇතුළු වන විදේශීය පර්යේෂණ යාත්‍රා සම්බන්ධයෙන් වසරක තහනමක් ක්‍රියාත්මක කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය.

මෙම සිදුවීම් නොතකා, චීන පර්යේෂණ යාත්‍රාවක් වන ‘ෂියැං යැං හොං 3’ දැනට ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිටත, එහෙත්, රටේ සුවිශේෂී ආර්ථික කලාපය (EEZ) තුළ සිට පර්යේෂණ කටයුතු සිදුකරන බව වාර්තා වේ.

පසුගිය වසර කිහිපය තුළ චීන පර්යේෂණ යාත්‍රා 17කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ක්‍රියාත්මක වී ඇති බවටද වාර්තා වී තිබේ.

එසේම, චීන නෞකාව පර්යේෂණ කටයුතුවල නිරතව සිටියදී ඉන්දීය නාවික හමුදාවට අයත් යුද සබ්මැරීනයක් වන INS Karanj ද පසුගිය සෙනසුරාදා (3) දින කොළඹට ළඟා වී තිබේ.

ශ්‍රී ලංකාවේ නිදහස් දිනයට සමගාමීව සහ සබ්මැරීනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වීම සඳහා එය මෙරටට එවා ඇති බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා සඳහන් කරයි.

42.31%
17.27%
32.76%