42.31%
17.27%
32.76%
February 13, 2024

උමාඔය ව්‍යාපෘතියේ මෙගාවොට් 120 ක ජලවිදුලි බලාගාරය මේ මස ක්‍රියාත්මක වීමට නියමිත බවත් එය වික්ටෝරියා, කොත්මලේ සහ ඉහළ කොත්මලේ බලාගාරවලින් පසු ශ්‍රී ලංකාවේ විශාලතම ජල විදුලි බලාගාරයක් බවට පත්කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා පවසා ඇත්තේ, උමාඔය ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය අඩු වියදම් විදුලි ප්‍රභවයක් ලබාදෙන බවයි.

ආණ්ඩු විරෝධී ජනතා විමුක්ති පෙරමුණ පවා සාධනීය දායකත්වයක් ලබාදුන් එකම ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘතිය උමාඔය ව්‍යාපෘතිය බව ඔහු පෙන්වාදෙයි.

“මධ්‍යම කදුකරයේ ජලය ගිනිකොනදිග වියළි කලාපයට හරවා යැවීමේ මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2010 මාර්තු මාසයේදී ආරම්භ කරන ලදී. දශක ගණනාවක් තිස්සේ සාකච්ඡා කර සැලසුම් කළ නමුත් කිසිදු රජයකට ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ යටිතල පහසුකම් ව්‍යාපෘති ඉදිකිරීම ආරම්භ කරන විට, මගේ ආණ්ඩුවේ අය මුදල් ඉපැයීම සඳහා මෙම ව්‍යාපෘතිවල වියදම් ඇස්තමේන්තු පුම්බා ඇති බව පවසමින් ඊර්ෂ්‍යා කළ පුද්ගලයන්, මම ජනාධිපති ලෙස කටයුතු කළ කාලය තුළ මෙම ජයග්‍රහණ හෑල්ලූවට ලක්කළහ.

මෙවැනි අකටයුතුකම් පිළිබඳ සාක්ෂි කිසි දිනෙක මහජනයා හමුවට ඉදිරිපත් කර නොතිබුණද, මහා පරිමාණ ව්‍යාපෘතියක් ආරම්භ කරන ඕනෑම අයෙකු සොරෙකු යැයි විශ්වාස කරන මුළු පරම්පරාවක්ම නිර්මාණය වී ඇත. මෙවැනි ප්‍රචාර වැඩිවන විට රටට යමක් කිරීමේ හැකියාවක් ඇති අයට දුෂ්ඨයන් ලෙස ලේබලය අලවන අතර කතා කිරීම, විවේචනය කිරීම, බොරු කීම හැර වෙන කිසිවක් කිරීමට හැකියාවක් නැති අය වීරයන් බවට පත්වේ. ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී දූෂණයක් සිදුවී ඇති බවට සාක්ෂි තිබේ නම්, එම සාක්ෂි පරීක්ෂා කර තිබීම එකකි. එහෙත් කිසිදු සාක්ෂියක් නොමැතිව දේශපාලනික චේතනාවෙන් චෝදනා කරමින්, අත්‍යවශ්‍ය මහා පරිමාණ ව්‍යාපෘති පවා ආරම්භ කිරීමට ආණ්ඩු සහ නායකයන් හෑල්ලුවට ලක්කරමින් ජාතික අවශ්‍යතාවයට එරෙහිව ක්‍රියා කිරීමකි” යැයි ඔහු පවසයි.

“මගේ ආණ්ඩුව පාරවල් කාපට් කර, රෝහල් සහ පාසල් ඉදිකර වැඩිදියුණු කර, නාගරික දුප්පතුන් සඳහා නව නිවාස ඉදි කළේය. එම කාලයේ සිදුකළ වැඩ වසර ගණනක් පවතිනු ඇත. කෙසේවෙතත්, මා ජනාධිපති ධුරයෙන් ඉවත් වී දැන් මේ වසර දහවන වසර වන අතර, කාර්මික හා සේවා අංශයේ අවශ්‍යතා සපුරාලීම සඳහා විශේෂයෙන් අඩු වියදම් විදුලි උත්පාදනය වැනි ක්ෂේත්‍ර සඳහා නව ආයෝජන අවශ්‍ය වේ.

උමාඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් මේ රටේ නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවට සුවිශේෂී අවස්ථාවක් උදා වී තිබේ. 1948 සිට රට පාලනය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක දශක කිහිපයක් පුරා රටේ පවතින යටිතල පහසුකම් සංවර්ධනයට සිය දායකත්වය ලබා දී ඇත. ආයතන විරෝධී ජනතා විමුක්ති පෙරමුණ පවා සාධනීය දායකත්වයක් ලබාදුන් එකම ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘතිය උමාඔය ව්‍යාපෘතියයි.

මගේ ආණ්ඩුව උමාඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීමට පෙර, වසර පනහකට වැඩි කාලයක් විවිධ ආණ්ඩු යටතේ එය සාකච්ඡාවට ලක්ව තිබිණි. එය ඩඩ්ලි සේනානායක පාලන සමයේ මහවැලි ව්‍යාපෘතිය සඳහා වූ UNDP/FAO ප්‍රධාන සැලැස්මේ ද ඇතුළත් වූ අතර, රණසිංහ ප්‍රේමදාස සහ චන්ද්‍රිකා කුමාරතුංග පාලනයන් යටතේ සිදුකරන ලද වැඩිදුර අධ්‍යයනයන්ට විෂය විය. උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කළේ, කරු ජයසූරිය සහ ජයවික්‍රම පෙරේරා යන මහත්වරුන් 2001-2004 එජාප රජය සමයේ විදුලිබල හා බලශක්ති සහ වාරිමාර්ග යන ඇමැති ධුර දැරූ අවස්ථාවේදීය.”

මේ සියල්ල නොතකා අඩසියවසකට අධික කාලයක් තිස්සේ යෝජනා ලෙස පමණක් තිබූ මෙම ව්‍යාපෘතිය තම පාලනය විසින් ආරම්භ කරන විට, තම දේශපාලන විරුද්ධවාදීන් චෝදනා තම ඉඩම්වලට වාරි ජලය සැපයීම සඳහා හම්බන්තොටට ජලය හරවා යැවීමේ උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කළ බවට හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ උමා ඔය ව්‍යාපෘතියේ දැඩි විවේචනයට ලක්කළ නමුත්, 2005 ජනවාරි මාසයේදී උමාඔය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගත්තේ එවකට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැතිවරයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකයා බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වාදෙයි. 2005 ජනවාරි 4 දින අංක 05/0036/039/002 දරන ඔහුගේ ඇමැති මණ්ඩල පත්‍රිකාවේ වෙනත් කරුණු අතර ප්‍රකාශ කර ඇත්තේ,ශ්‍රී ලංකාවේ ගිනිකොන දිග වියළි කලාපයේ විශ්වාසනීය ජල මූලාශ්‍රයක් නොමැති විට උමා ඔයෙන් ජලය හැරවීම හැර වෙනත් විකල්පයක් නොමැති බව යැයිද මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

42.31%
17.27%
32.76%