June 18, 2023

යුක්රේනයේ යුද්ධය අවසන් කළ යුතු බව දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රමෆෝසා රුසියානු නායක ව්ලැඩිමීර් පුටින්ට පවසා තිබේ.

තවත් අප්‍රිකානු රටවල් හයක් සමඟ සාම මෙහෙයුමක කොටසක් ලෙස සෙනසුරාදා ශාන්ත පීටර්ස්බර්ග්හිදී පුටින් හමුවූ අවස්ථාවේදී රමෆෝසා මෙම ප්‍රකාශය කළේය.

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සිකුරාදා නියෝජිත පිරිසට කියා සිටියේ ඔවුන් යුක්රේන භූමිය අත්පත් කරගෙන සිටින තුරු රුසියාව සමඟ සාකච්ඡාවලට නොඑන බවයි.

යුක්රේනය සැමවිටම සාකච්ඡා ප්‍රතික්ෂේප කළ බව පුටින් අප්‍රිකානු නායකයින්ට පැවසීය.

ශාන්ත පීටර්ස්බර්ග් හි පැවති රැස්වීමේදී, රමෆෝසා,  යුද සිරකරුවන් ආපසු ලබා දෙන ලෙස දෙපාර්ශ්වයෙන් ඉල්ලා සිටි අතර රුසියාව විසින් ඉවත් කර ගනු ලැබූ යුක්රේන දරුවන් යළි සිය රටට පිටත් කළ යුතු බව සඳහන් කළේය.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කරද්දී යුක්රේන දරුවන් සිය ගණනක් බලහත්කාරයෙන් ඔවුන්ගේ පවුල්වලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් පුටින්ට ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් යුද අපරාධ චෝදනා එල්ල කර තිබේ.

අප්‍රිකානු දූත පිරිස දරුවන් ඔවුන්ගේ පවුල් වෙත ආපසු ලබා දෙන ලෙස ඉල්ලා සිටි විට, රුසියාව ඔවුන් ආරක්ෂා කරන බව  පුටින් කියා සිටියේය.

“ළමයින් පූජනීයයි. අපි ඔවුන්ව ගැටුම් කලාපයෙන් ඉවත් කළා, ඔවුන්ගේ ජීවිත සහ සෞඛ්‍යය ආරක්ෂා කළා”, ඔහු පැවසීය.

යුක්‍රේනියානු දරුවන් සිය ගණනක් නීතිවිරෝධී ලෙස රුසියාවට මාරු කිරීම සම්බන්ධයෙන් තමන් සතුව සාක්ෂි ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

අප්‍රිකාවට යුද්ධයේ බලපෑම් පිළිබඳව රමෆෝසා පුටින්ට අනතුරු ඇඟවූ අතර එය රාජ්‍ය තාන්ත්‍රිකයෙන් විසඳිය යුතු බව පැවසීය.

“යුද්ධය සදාකාලිකව පැවතිය නොහැක. සියලු යුද්ධ සමථයකට පත් කර යම් අවස්ථාවක අවසන් කළ යුතුය, අපි මෙහි සිටින්නේ මෙම යුද්ධය අවසන් කිරීමට අපි කැමති බවට ඉතා පැහැදිලි පණිවිඩයක් සන්නිවේදනය කිරීමටයි.” ඔහු පැවසුවේය.

විශේෂයෙන්ම අප්‍රිකානු රටවලට බලපා ඇති අතර ගෝලීය ආහාර අනාරක්ෂිත භාවය තීව්‍ර කරමින් යුක්රේනයෙන් ධාන්‍ය අපනයනය සහ රුසියාවෙන් පොහොර අපනයනය යුද්ධය හේතුවෙන් දැඩි ලෙස සීමා කර ඇත.

දකුණු අප්‍රිකාව, ඊජිප්තුව, සෙනගල්, කොංගෝ-බ්‍රසාවිල්, කොමරෝස්, සැම්බියාව සහ උගන්ඩාවේ නියෝජිතයින්ගෙන් අප්‍රිකානු දූත පිරිස සමන්විත වේ.

දකුණු අප්‍රිකාව සහ උගන්ඩාව රුසියාව දෙසට නැඹුරු වන අතර සැම්බියාව සහ කොමරෝස් බටහිරට සමීප වේ. ඊජිප්තුව, සෙනගල් සහ කොංගෝ-බ්‍රසාවිල් බොහෝ දුරට මධ්‍යස්ථව පැවතුනි.

අප්‍රිකානු රටවල් මූලික වශයෙන් මෙම යුද්ධය දකින්නේ රුසියාව සහ බටහිර රටවල් අතර ගැටුමක් ලෙසිනි.