December 30, 2024

මොණරාගල මාගන්දනමුල්ල ප්‍රදේශයේ දී සිදු වූ යතුරුපැදි අනතුරකින් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොළය මියගිය මොණරාගල ඇතිමලේවැව සියඹලාගහයට ගෙදර ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියකගේ සියලුම අවයව පරිත්‍යාගයක් ලෙස දන්දී, එම අවයවවලින් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වී සිටි අහිංසක රෝගීන් දෙදෙනකුට ජීවත්වීමේ වාසනාව උදාකර දුන් බව බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ පවසයි .

මෙම තරුණිය මොණරාගල ඇතිමලේවැව සියඹලාගහයට ගෙදර පදිංචිව සිටි උදේශිකා සදමාලි (24) ය.

ඇයගේ පියා ආර්.එම් .ප්‍රේමසිරි (63) ය. මව බී.වී.සෝමලතා මැණිකේ (53) නම් වෙයි.

මෙම දෙපළට දියණියන් තිදෙනකු සිටි අතර උදේශිකා පවුලේ බාල දැරිය විය.

මැයගේ දෙවන අක්කා මීට වසර කීපයකට ඉහතදී පිළිකා රෝගය වැළඳී මෙලොවින් සමුගත් අතර ,වැඩිමහල් සහෝදරිය සහ මව පියා සමග උදේශිකා මොණරාගල ඇතිමලේවැව සියඹලාගහයට ගෙදර නිවසේ පදිංචිව සිටියාය .

අපොස උසස් පෙළ විභාගය සමත් උදේශිකා සංගීතයට දස්කම් දක්වමින් සමස්ත ලංකා තරගවලින් පවා ජයග්‍රහණ රැසක් හිමිකරගත් අතර ප්‍රදේශයේ දුප්පත් අහිංසක ළමුන් එකතු කරගෙන ඇය ඔවුන් වෙනුවෙන් කලායතනයක් පවත්වාගෙන යමින් අහිංසක දරුවනට නැටුම් වැයුම් සංගීතය පුරුදු පුහුණු කළාය.

විද්‍යාපීඨය සදහාද ඉල්ලුම්පත් යොමුකළ උදේශිකා, මොණරාගල ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධානයක සේවය කරමින් ප්‍රදේශයේ අහිංසක දරුවන්ට ජනතාවට උදවු උපකාර කරමින් සමාජ සත්කාර කටයුතු වල නිරත වෙමින් සිටියය.

නත්තල් දින කිසියම් සමාජ සේවා කටයුත්තක් කිරිම සදහා අවශ්‍ය රෙදිපිළි යම් ප්‍රමාණයක්, නිවසේ සිට අගේ පියා ඇතිමලේ සිට කොළඹ බලා රාත්‍රි ධාවනය වූ බස්රථයට බාර දුන්නේ, ඇතිමලේ ප්‍රදේශයේ බෝඩිම් කාමරයක නතර වී සිටි උදේශිකා දියණිය අතරමගදී එම ඇදුම් බෑගය ලබා ගන්නා නිසාවෙනි.

උදේශිකා සදමාලි සිය හිතවතකු සමග යතුරුපැදියක නැග 24 රාත්‍රි බෝඩිමේ නිවසින් පිටවී ගියේ කොළඹ යන බස් රථයේ පියා එවූ ඇදුම් බෑගය ලබා ගැනිමේ අරමුණිනි.

යතුරුපැදිය මොණරාගල මාගන්දනමුල්ල මාර්ගයේ තරමක වේගයෙන් හිතවතා පදවාගෙන ගිය අතර උදේශිකා පිටුපස සිටියාය.

ඒ සමගම ටික දුරක් ගිය යයතුරුපැදිය ඉදිරියෙන් පැමිණි මෝටර්රථයක ගැටීමෙන් උදේශිකා බරපතළ තුවාල ලැබූ අතර ඇය වහා මොණරාගල සිරිගල රෝහලට ඇතුළත් කළාය.

ඇයගේ තත්ත්වය බරපතළ හෙයින් වහා ඇය බදුල්ල ශික්ෂණ රෝහලට මාරුකර යැවීය.

බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය පාලිත රාජපක්ෂ ඇතුලු අදාළ රෝහල් කාර්යමණ්ඩලය උදේශිකා ජීවත් කරවීමට දැඩි වෙහෙසක් දරමින් සිටි අතර පසුව ඇය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළාය.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්යමණ්ඩලය උදේශිකාගේ තත්ත්වය 99%ක් බරපතළ බවත්, ඇය ජීවත් කරවීමට නොහැකි බවත්, මොළයට ලේ ගැලිම නිසාවෙන් ඇයගේ මොළය මියගොස් ඇතැයි පවූලේ උදවියට පැවසු බවත්, ඇගේ ඥාතියකු වන බදුල්ල ඊල්පොල මැදගම මාලිනි අබේගුණසේකර (52) පවසයි.

පසුව බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඩබ්ලිව් .යූ.ඒ.පී.වැලිවිට සහ උදේශිකාගේ ඥාතියකු වන රෝහලේ ආරක්ෂක නිලධාරීර්නි ඩී. ඩබ්ලිව් .ඒ. ශ්‍රියාකාන්ති යන අය සමග පවුලේ අය සකච්ඡා කර, මොළය මියගිය උදේශිකාගේ අවයව දන්දීමට තීරණය කර ඒ පිළිබඳව බදුල්ල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ගයාන් කුරේ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාර් ආර්.එම්.ඒ.ඩී.එස්. අකිල සහ රෝහලේ ලේකම් සුගත් කිත්සිරි යන මහත්වරුන්ගේ උපදෙස් මත කටයුතු සිදු කළ බවත්, මේ සදහා උදේශිකා ගේ මව සහ පියා කැමති වූබවද ඇය කීවාය .

මොළය මියගිය උදේශිකාගේ අක්මාව, වකුගඩු , ඇස්, හදවත මෙසේ දන්දුන් බවද මාලීනි අබේගුණසේකර පැවසු අතර, උදේශිකා ජීවතුන් අතර සිටියදී ඇයගේ ලස්සන දිගු කෙස් වැටිය කපා අසරණ පිළිකා රෝගින් වෙනුවෙන් පරිත්‍යාග කල බවද ඇය කීවාය .

කෙසේවෙතත් බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාප්පක්ෂ මෙලෙස සඳහන් කර ඇත.

“ඇත්ත වශයෙන්ම මෙම තරුණියට අත්වූ ඉරණම ගැන හරිම කණගාටුයි. නමුත් අනෙක් පැත්තෙන් අපට සතුටු වෙන්න පුලුවන් ඇය සිදුකළ මෙම උතුම් පරිත්‍යාගය පිළිබඳව. ඇය දන්දුන් ඇයගේ වකුගඩු දෙකෙන් එකක් බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අසරණ වකුගඩු රෝගියකුට ලබා දී ජීවිතයත්, මරණයත් අතර සටනක නිරත වී සිටින රෝගියකුගේ ජීවිතය බේරාගන්න හැකිවුණා. අනෙක් වකුගඩුව මහනුවර රෝහලට එහි රෝගියකු සදහා ලබාදුන්නා. මෙවැනි පරිත්‍යාග කිරීමී ඇත්ත වශයෙන් ම විශාල පිනක් වගේම සමාජයේ අනෙකුන් උදවියට හොද ආදර්ශයක්.”

තම ජීවිතය අහිමි වී ගියත් තවත් රෝගීන් දෙදෙනකු මරණ මංචකයේන් මුදවාගෙන ඔවුනට ජීවත් වීමට අවස්ථාව උදාකර දුන් උදේශිකා සදමාලි, මව, පියා සහෝදරියන්, නෑදෑ හිතවතුන්ගෙන් සමුගෙන 27 වැනි දින පස්වරුවේ මොණරාගල ඇතිමලේ පොදු සුසාන භූමියේ දී අවසන් ගමන් ගියාය.(අද)

42.31%
17.27%
32.76%