August 29, 2024

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න ගමන්ගත් මෝටර් රථයට වෙඩිතැබීමේ සිද්ධියේ සැකකාර, අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම විදේශගතවීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කළ අනුරාධපුර මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය, ඒ බව කටුනායක සහ මත්තල අන්තර්ජතික ගුවන් තොටුපළවල ආගමන විගමන පාලකවරුන්ට දැනුම්දීමට නියම කළේය.

විදේශයක සිටි හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මේ වන විට දිවයිනට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇතත්, ඔහු පදිංචි නිවසේ නොමැති බවත්, ඔහුගේ ජංගම දුරකතනය ක්‍රියා විරහිත කර ඇති බවත් කියමින්, සැකකාර සංජීව මහනාම යළි විදේශ ගත වීමේ හැකියාව ඇතැයි කියමින් රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගනිමින් මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍ර උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩිතැබීමේ සිද්ධියට අදාළ නඩුව මෝසමක් මගින් කැඳවූ රහස් පොලිස් නිලධාරීහු වැඩිදුර වාර්තාවක් මගින් සහකාර මහනාම කරුණු දක්වමින්, හිටපු පොලිස් අධිකාරි සංජීව නමැත්තා මෙම සිද්ධියේ සැකකරුවකු ලෙස නම්කර ඇති බවත්, විදේශයක සිටි ඔහු මේ වන විට යළි දිවයිනට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් සඳහන් කළහ.

එම තොරතුරුවලට අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ඔහු පදිංචිව සිටි මහනුවර ප්‍රදේශයේ නිවසට ගියත්, ඔහු හෝ පවුලේ කිසිවකු එම නිවසේ නැති බවත්, ඔහු පදිංචිව සිටින වෙනත් ලිපිනයක් හෝ පදිංචි ස්ථානයක් සොයාගැනීමට නොහැකි බවත් කී රහස් පොලිසිය, ඔහුගේ ජංගම දුරකතනය ද ක්‍රියාවිරහිත කර ඇතැයි දැනුම් දුන්නේය.

සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම නමැත්තා යළි විදේශගතවීමේ උත්සාහයක් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි කී රහස් පොලිසිය, සැකකරුට රටින් පිටවීම වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ තහනම් නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා, සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස රහස් පොලිසියට නියම කළේය.(ලංකාදීප)