September 12, 2023

නාගරික සංවර්ධන අධිකාරියට අයත් යටත් විජිත යුගයේ දේපල දෙකක් සංවර්ධනය කිරීමට ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවා ඇත.

මෙලෙස යෝජනා කැඳවා ඇත්තේ, සැප්තැම්බර් 14 සිට නොවැම්බර් 02 දක්වා කාලය තුළ,එම දේපළවල මිශ්‍ර වාණිජ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට උනන්දුවක් දක්වන ආයෝජකයන් හෝ සංවර්ධකයන් සඳහා ය.

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතේ අංක 11හි පිහිටි ගොඩනැගිල්ල තේ කෞතුකාගාරයක් සමඟ මිශ්‍ර වාණිජ සංවර්ධනයක් ලෙස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම යෝජනා නිකුත් කර ඇත.

මෙම ගොඩනැගිල්ල සංරක්ෂණය කර දීර්ඝ කාලීන බදු පදනම මත වාණිජ කටයුතු සඳහා ද භාවිත කරන ලෙස පෞද්ගලික අංශයේ හවුල්කරුවන්ට ආරාධනා කර තිබේ.

මෙම ඓතිහාසික ව්‍යුහය සංරක්ෂණය හා ප්‍රතිසංස්කරණය සඳහා පෞද්ගලික අංශයෙන් රුපියල් මිලියන 500 සිට 800 දක්වා ඇස්තමේන්තුගත ආයෝජනයක් අවශ්‍ය වේ.

දෙවනුව, කොළඹ 07, නිදහස් මාවතේ, අංක 25හි උසස් මට්ටමේ ‘බුටික් හෝටලයක්’ සංවර්ධනය කිරීම මෙන්ම ඇමැති මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව එම දේපළ මහජනතාවට විවෘත කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පැවරී ඇත.

මෙම ව්‍යාපෘතියේදී කාමර 26 කින්, තටාකයකින් සහ උසස් ආගන්තුක සත්කාරක අංගයන්ගෙන් සමන්විත ඉහළ මට්ටමේ ‘බුටික් හෝටලයක්’ නිර්මාණය කිරීමට අපේක්ෂා කෙරෙයි.

යෝජනා හරහා මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර සඳහා සහභාගී වීමට දේශීය සහ අන්තර්ජාතික ආයෝජකයන්ට සහ සංවර්ධකයන්ට ආරාධනා කර ඇත.

ආයෝජකයන් සහ සංවර්ධකයන් ඇතුළු ලංසුකරුවන්ට යෝජනා ලේඛන නාගරික සංවර්ධන අධිකාරියේ 8 වන මහලේ, සෙත්සිරිපාය I අදියර, බත්තරමුල්ල යන ස්ථානයේ පිහිටි දේපල කළමනාකරණ සහ සංවර්ධන අංශයෙන් ලබාගත හැක.

එමෙන්ම අතිරේක තොරතුරු නාගරික සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවිය https://www.uda.gov.lk/investment-potential.html හි ඇත.

නාගරික සංවර්ධන අධිකාරිය වෙත විශේෂයෙන්ම මෙරටට පැමිණෙන විදේශීය අමුත්තන්ට පහසුකම් සැලසීමට ලෝක ප්‍රකට ආගන්තුක සත්කාර අංශයේ ක්‍රියාකරුවන්ගෙන් බොහෝ ඉල්ලීම් ලැබෙන බව එම අධිකාරිය පවසයි.

“ඓතිහාසික ව්‍යුහයන් සංචාරකයන් අතර ජනප්‍රිය වී ඇත්තේ ඒවායේ ඓතිහාසික වැදගත්කම සහ අනන්‍ය අනන්‍යතා හේතුවෙන්. ඒවායින් සමහරක් නැවත සංවර්ධනය කිරීම සඳහා අපි හඳුනාගෙන තියෙනවා.” යැයි නාගරික අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් පවසයි.

“ස්ථානයේ ස්වභාවයට හානියක් නොවන පරිදි විදේශීය සහ දේශීය ආයෝජකයන්ගේ ආයෝජන හරහා අපි ඒවා නැවත සංවර්ධනය කරනවා” ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

දිවයින පුරා අබලන් වූ සහ ඓතිහාසික ගොඩනැගිලි සංවර්ධන ව්‍යාපෘතියේ කොටසක් ලෙස, නාගරික සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන 400කට අධික මුදලක් ආයෝජනය කරමින් 80 ක්ලබ් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර නැවත විවෘත කර තිබේ.

එමෙන්ම කොළඹ සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර ආදී රටේ අනෙකුත් ප්‍රධාන නගරවලද දේපළ ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රියාවලියක නිරතව ඇත.