January 7, 2024

කොලොන්නාව නගර සභාවේ වත්මන් ලේකම්වරියගේ පරිපාලන ක්‍රියාවලිය ඉතාම ශෝචනීය බවට එම නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරු පිරිසක් මැසිවිලි නගමින් කියාසිටිති.

ඔවුන් චෝදනා කරන්නේ, නගර සභාවේ රාජකාරී කිරීමට සිටින සාමාන්‍ය ලිපිකරුවන් සහ අනෙකුත් සෙසු නිලතලවල සිටින සේවිකාවන් පස්වරු දෙකේ සිට නගර සභාවට අයත් කොලොන්නාව මහජන ක්‍රීඩාංගණයේදී එල්ලේ ක්‍රීඩාවේ යෙදෙන බවයි.

මේ නිසා නගර සභාවේ දෛනික රාජකාරී සහ පරිපාලන කටයුතුවලට ඉකුත් සති දෙකක පමණ කාලයක සිට බලපෑම් එල්ල වී ඇති අතර, රාජකාරි වේලාව තුළ ක්‍රීඩාවේ යෙදීම හේතුවෙන් සභාවේ සේවාවන් සඳහා පැමිණෙන බදු ගෙවන්නන්ට ගැටලු රාශියකට මුහුණ පෑමට සිදුවී ඇති බව එම හිටපු නාගරික මන්ත්‍රීවරු පෙන්වාදෙති.

ලේකම්වරියගේ අනුමැතියෙන් මෙලෙස ක්‍රීඩාවේ යෙදෙන සේවක සේවිකාවන් සඳහා දිනපතා සන්ධ්‍යා අතිකාල ගෙවීම් ද ඇය විසින් අනුමත කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

නගර සභාවේ රාජකාරී කටයුතු සඳහා භාවිත කරන නිල වාහන කීපයක්ම දිනපතා පස්වරු 2.00 සිට පස්වරු 5.30 දක්වා මෙම ක්‍රීඩා කටයුතුවල නියැලෙන සේවක සේවිකාවන් එහා මෙහා ගෙන යෑමට යොදවා ඇති බවද වාර්තා වේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ පාෂාණ ආශ්‍රිත නිෂ්පාදනවලට සම්බන්ධ දේශපාලකයෙක් මෙම නිලධාරිනියගේ ආසන්නම සමීපතමක් වන අතර, ඔහුගේ බලපෑම මත ඇය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වෙත යොමුකරන සියලු ලේඛන එම දේශපාලන හස්තය විසින් පාලනය කරමින්, ඇයට එරෙහිව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට විනයානුකූලව පියවර ගැනීමට ඉඩ ප්‍රස්ථාවක් ලබානොදෙන බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනට වැල්ලම්පිටිය පොදු වෙළඳපොළේ එක් අන්තයක ඉදිකිරීම් සඳහා වන කොන්ත්‍රාත්තුව පළමු ටෙන්ඩර්කරු වෙනුවට වැඩි ගැනුම්කරුවෙකුට ලබාදීමට මෙම ලේකම්වරිය අත්තනෝමතිකව කටයුතු කර ඇති බවටද චෝදනා එල්ලවේ.

දැනට කොලොන්නාව පුරාණ රජමහා විහාරය ඉදිරිපස එක් අන්තයක ස්ථාපනය කර ඇති ආහාර මිලදී ගැනීම සඳහා කුටි සකස් කරමින් පෞද්ගලික ඉඩමක පවත්වාගෙන යන ව්‍යාපාරයක් සඳහා නගර සභාව විසින් ලබාදී ඇති අනුමැතිය හේතුවෙන් මාර්ගයේ ගමන් ගන්නා රථවාහනවලට ,අවට නිවාසවල ජීවත්වන ජනතාවට, මාර්ගයේ ගමන්ගන්නා ජනතාවට විශාල පීඩාවක් මතු වී ඇති බවට ප්‍රදේශවාසීහු ද චෝදනා කරති.

 

42.31%
17.27%
32.76%