December 2, 2024

අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවලින් වාර්තා වූ ඝාතන දෙකක් සම්බන්ධයෙන් වයස අවුරුදු 17ක සහ 18ක තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අනුරාධපුර – ඔයාමඩුව – බණ්ඩාරගම ප්‍රදේශයේදී 26 හැවිරිදි පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම ප්‍රදේශයේම පදිංචි 17 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන ඇත.

තියුණු ආයුධයකින් පහරදීමෙන් එම පුද්ගලයා මිය ගොස් ඇති බවට ඔයාමඩුව පොලිසියට කළ දැනුම්දීමක් මත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබිණි.

දෙපාර්ශවයක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් අනතුරුව ඔහු පහරකෑමට ලක්ව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

මේ අතර, වවුනියාව – ඕමන්ත ප්‍රදේශයේදී 45 හැවිරිදි පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 18 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා තියුණු ආයුධයකින් කළ පහරදීමකින් තුවාල ලබා වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

කැබ් රථයකින් පැමිණි පිරිසක් පෞද්ගලික ආරවුලක් මත තියුණු ආයුධවලින් පහරදීමෙන් මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් පැමිණි ඩබල් කැබ් රථය සමඟ වවුනියාව ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඕමන්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

 

42.31%
17.27%
32.76%