October 26, 2024

ලැගුම්හලකදී හැටපස් හැවිරිදි පුද්ගලයකුගේ රන් භාණ්ඩ සොරාගත් කාන්තාවන් දෙදෙනෙකු සහ බස් කොන්දොස්තරවරයකු සොයා මොරටුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

හැටපස් හැවිරිදි මෙම පුද්ගලයා කොළඹ ප්‍රදේශයේදී හමු වූ කාන්තාවක් සමග මොරටුව ප්‍රදේශයේ ලැගුම්හලකට ගොස් තිබේ.

එම පුද්ගලයා නාන කාමරය තුළට ගිය අවස්ථාවේදී කාන්තාව රු.40,000ක මුදලක්, ජංගම දුරකථනය සහ ඔහුගේ රන්මාලයක් රැගෙන පළාගොස් ඇති බව පොලිසිය පවසයි.

පසුව මෙම පුද්ගලයා ලැගුම්හලෙන් බැහැරට විත් එම කාන්තාව ගැන සොයාබැලීමට යෑමේදී තවත් කාන්තාවක් ඔහුට මුණගැසී තිබේ.

පසුව ඔහු එම කාන්තාවත් රැගෙන නැවතත් ලැගුම්හල වෙත ගොස් ඇති අතර, ඔහුට නින්ද යෑමෙන් පසුව එම කාන්තාවද ඔහුගේ අරන් අත් පළඳනාව සොරාගෙන පළාගොස් ඇත.

සොරාගත් එම භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ දොළහකට අධික බව පොලිසිය සඳහන් කරයි.

මෙම සොරාගත් රන් භාණ්ඩ ළඟ තබා ගැනීමට බස් කොන්දොස්තරවරයකු සම්බන්ධ බවටද කරුණු අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් මොරටුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

සැකකරුවන් අනාවරණය කරගෙන ඇති අතර ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පවසයි.

42.31%
17.27%
32.76%