December 11, 2024

බාලි දූපතේ උබුඩ් හි ජනප්‍රිය ‘වඳුරු වනාන්තරයේ’ (Monkey Forest) සංචාරක ආකර්ෂණයක් ඇති ස්ථානයක විශාල ගසක් කඩාවැටීමෙන් සංචාරකයින් දෙදෙනකු මියගොස් තිබේ.

ස්කයි නිව්ස් වාර්තා කරන අන්දමට, ප්‍රංශයේ සිට පැමිණි 32 හැවිරිදි සංචාරකයකු සහ දකුණු කොරියාවේ සිට පැමිණි 42 හැවිරිදි සංචාරකයකු එලෙස මියගොස් තිබේ.

සංචාරකයන් පිරිසක් වනය මැදින් ඇති ඇවිදින මාර්ගයක ගමන් කරමින් සිටියදී විශාල ගසක් කඩාවැටෙන අයුරු විදෙස් ජනමාධ්‍ය වාර්තා කර ඇත.

කඩාවැටෙන ගස උසක සිට ඇදහැලෙන බවත් එය පොළවට පතිත වන වේගයත් සමග කැබලි වන අයුරු ද එහි දැක්වේ.

අනතුරින් දකුණු කොරියාවේ සිට පැමිණි තවත් සංචාරකයකු ද තුවාල ලබා ඇති අතර ඔහු කෙනක් මෙඩිකා උබුඩ් රෝහලට රැගෙන ගොස් ඇත.

දැවැන්ත ගසක් මිනිසුන් ගමන් කරන මාර්ගයට උඩින් කඩාවැටුණු බිහිසුණු මොහොත දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙමින් පවතී.

ගස කඩාවැටීමත් සංචාරකයන් රැසක් දිවයන අයුරු ද වීඩියෝවේ දැක්වේ.

ඛේදවාචකය සැළකිල්ලට ගනිමින් අභයභූමිය දෙසැම්බර් 11 සහ 12 යන දිනවල වසාතබන බවත් නැවත විවෘත කිරීම පිළිබඳ වැඩිදුර යාවත්කාලීන කිරීම් ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බවත් නිවේදනය කර තිබේ.

“Monkey Forest හි උබුඩ් ප්‍රදේශයේ තද සුළං හේතුවෙන් ගසක් කඩාවැටී ඇති බව බලවත් කණගාටුවෙන් යුතුව දන්වා සිටිමු. වැටී ඇති ගස නිරෝගී තත්ත්වයක පැවති බව අවධාරණය කිරීමට කැමැත්තෙමු. Monkey Forest Ubud හි අමුත්තන්ගේ, කාර්ය මණ්ඩලයේ සහ වන ජීවීන්ගේ ආරක්ෂාව සඳහා අපගේ කැපවීමේ කොටසක් ලෙස අපි නිතිපතා ගස් අධීක්ෂණය සහ කප්පාදු කිරීම සිදු කරන්නෙමු,” යනුවෙන් ද බලධාරීන් නිවේදනය කර ඇත.

42.31%
17.27%
32.76%