August 5, 2024

හලාවත කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන ප්‍රසිද්ධ පාසලක එකොළොස්වැනි වසරේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකු කසිප්පු පානය කර පාසල ඉදිරිපිට අතුරු මාර්ගයක පාසල් නිල ඇඳුමින්ම සිහිසුන්ව වැටී සිටියදී පසුගිය සිකුරාදා සවස සොයාගෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

පොලිස් 119 හදිසි ඇමතුම් අංශය මගින් කරන ලද දැනුම් දීමක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් සිහිසුන්ව වැටී සිටි සිසුන් දෙදෙනා මුලින්ම එම ප්‍රදේශයේ පිහිටි රජයේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

එම රෝහලේදී කරන ලද ප්‍රතිකාර වලින් පසුව එක් සිසුවකුට තරමක සිහිය ලැබී ඇති අතර එම සිසුවා රෝහලේ වෛද්‍යවරුන් සමග පවසා ඇත්තේ මිතුරා පාසලට රැගෙන ආ වතුර බෝතලයේ තිබූ යමක් පානය කිරිමට ලබාදුන් බවත් එය පානය කිරීමෙන් පසු වමනය ගොස් ක්ලාන්තය දැමූ බවත් යැයි එම රෝහලේ වගකීව යුතු නිලධාරියෙක් පැවසීය.

වැඩිදුර ප්‍රතිකාර සඳහා මෙම සිසුන් දෙදෙනා පසුව හලාවත රෝහලට ඇතුළත් කර ඇත.

පාසැල නිමවීමෙන් පසු විද්‍යාලයේදීම පැවැත්වෙන පන්තියකට සහභාගී වී ආපසු නිවෙස් බලා යමින් සිටි අතරවාරයේ පාසල ඉදිරිපිටින් ඇති අතුරු මාර්ගයට ගොස් එක් සිසුවකු විසින් පාසලට වතුර බෝතලයක දමාගෙන ආ කසිප්පු පානය කර ඇති බව පැවසේ.

42.31%
17.27%
32.76%