December 30, 2023

සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමින් කාන්තාවන් රවටා මුදල් වංචා කළ විදෙස් ජාතික සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරුවන් දෙදෙනා නයිජීරියානු ජාතිකයන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.

එමෙන්ම මොවුන් දෙදෙනාටම ගුවන් ගමන් බලපත්‍ර නොමැති බවත් එම බලපත්‍ර අධිකරණය සතුව පවතින බවත් අනාවරණය වී ඇත.

මෙම මුදල් වංචා සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි 03ක් ඉදිරිපත් කර ඇති අතර එම පැමිණිලි තුනම ඉදිරිපත්කර ඇත්තේ කාන්තාවන්ය.

2023.01.19 වැනිදා රුපියල් 1,045,000ක මුදලක් ද 2023.03.07 වැනිදා 10,222,634 ක මුදලක් හා 2023.07.06 වැනිදා 18,531,676 ක මුදලක් ද වංචා කර ඇති බවට මෙම කාන්තාවන් පැමිණිලි කර ඇත.

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය ඒකකය මගින් විමර්ශන ආරම්භ කර තිබේ.

පැමිණිකාරිනියන් දෙදෙනකුට මෙම සැකකරුවන් සමාජ මාධ්‍ය මගින් සම්බන්ධ වී වෛද්‍යවරුන් ලෙස පවසා ඔවුන් සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ගනිමින් මුදල් වංචා කර ඇති බව හෙළි වී ඇත.

අනෙක් කාන්තාවට මෝටර් රථයක් දිනුම්ඇදුණු බවත් එහි වටිනාකම චෙක්පතක් මගින් ද මෝටර් රථයේ අනෙකුත් ලියකියවිලි කුරියර් සේවාවක් මගින්ද යොමුකළ බවත් පවසා මෙම පුද්ගලයන් විසින් මුදල් වංචා කර ඇත.

මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර බැංකු ගිණුම් සම්බන්ධයෙන් තොරතුරු ලබාගනිමින් සැකකරුවන් දෙදෙනා අලුත්ගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

CCTV දර්ශන අනුව මොවුන් දෙදෙනා හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව තිබී ATM වර්ගයේ කාඩ්පත් 14ක් ද ජංගම දුරකථන 05ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.(දිනමිණ)

42.31%
17.27%
32.76%