June 17, 2024

මීගමුව විජරත්නම් හින්දු මහා විද්‍යාලයේ 11 වැනි වසර ඉගෙනුම ලබන මිතුරන් දෙදෙනකු කුඩාපාඩුව මුහුදු තීරයේ ඡායාරූප ගනිමින් සිටිය දී දිය රැල්ලට හසුව ගසාගෙන ගොස් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ අංක 209/1, වැල්ල වීදිය, මීගමුවේ පදිංචි යෝහනාදන් නිදිෂ් (16) සහ අංක 22/45, අසරප්ප පාර, මීගමුවේ පදිංචි රාජදුරෙයි අරවින්ද් (16) යන පාසල් මිතුරන් දෙදෙනෙකි.

හොඳම යහළුවන් වන මේ සිසුන් දෙදෙනාගේ මරණ පරික්ෂණය මීගමුව වැඩබලන හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සුනිල් ශාන්ත විජයතුංග ඉදිරියේ දී පෙරේදා (15) සිදු කෙරිණි.

මේ මිතුරන් දෙදෙනා මීගමුව විජරත්නම් හින්දු මහා විද්‍යාලයේ 11 වැනි වසර ඉගෙනුම ලබන බව කියයි.

ඉකුත් 14 වැනිදා පාසල් ගොස් නිවෙසට පැමිණ කෑම ගෙන පසුව සවස දෙකයි තිහට පමණ වොලිබෝල් පුහුණුවීමට යන බව පවසා නැවත විද්‍යාලයට ගොස් ඇත.

එදින පුහුණුවීමේ කටයුතු නොපැවැති බැවින් මේ දෙදෙනා තවත් පාසල් මිතුරන් දෙදෙනකු සමඟ කුඩාපාඩුව මුහුදු තීරයට ඡායාරූප ගැනීමට ගිය බව මරණ පරීක්ෂණයේ දී දෙන ලද සාක්ෂිවලින් අනාවරණය වී ඇත.

එක් ළමයෙක් වීඩියෝගත කරමින් සිට ඇති අතර, අනෙක් ළමයි මුහුදට බැස සිටි බව කියයි.

මේ අවස්ථාවේ හදිසියේ පැමිණි රැල්ලකට හසුවී මේ මිතුරන් දෙදෙනා ගසාගෙන ගොස් ඇතැයි කියැවේ.

අනෙක් ළමයි කෑගසා මේ දෙදෙනා බේරා දෙන ලෙස අවට සිටි අයගෙන් ඉල්ලා ඇතත් ඒ කිසිවකුට මේ දෙදෙනා බේරාගැනීමට නොහැකි වූ බව සාක්ෂිවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

සිද්ධිය වී පැය බාගයකට පමණ පසු මෘත ශරීර ප්‍රදේශවාසීන්ගේ සහායෙන් සොයාගෙන ඇත.

මියගිය දෙදෙනාගෙන් එක් අයෙක් නිවුන් දරුවන්ගෙන් කෙනෙකි.

අනෙක් දරුවා ද මේ අවස්ථාවට එක්ව තිබේ.

42.31%
17.27%
32.76%