August 31, 2024

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ අනුදැනුම ඇතිව සඟවා තිබූ ගිනිඅවි තොගයක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් මුල්කර ගෙන තමන් නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර තැබීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කරනා ලෙස ඉල්ලා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකු ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක් ඊයේ (30දා) ඉවත්වූහ.

තමන් එම පෙත්සම්කරුවන්ට සම්බන්ධ වෙනත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කොට ඇති බැවින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව විවෘත අධිකරණය හමුවේදී පෙන්වාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා සහ කුමුදුනී වික්‍රමසිංහ එලෙස පෙත්සම් විභාගයෙන් ඉවත්වූහ.

ශානි අබේසේකර, පොලිස් පරීක්‍ෂක සුදත් මෙන්ඩිස් හා උපපොලිස් පරීක්ෂක නාවලගේ ප්‍රේමරත්න යන තිදෙනා ගොනුකර තිබූ එම මූලික අයිතිවාසිකම් පෙත්සම් එස්. තුරෙයිරාජා, කුමුදුනී වික්‍රමසිංහ ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේදී ඊයේ (30දා) කැඳවිණි.

ජ්‍යෙෂ්ඨ නීතිඥ ශාන්ත ජයවර්ධන, ෂෙහාන් ද සිල්වා හා හෆිල් පාරිස් යන අය පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනීසිටි අතර පෙත්සම් විභාගය ලබන මාර්තු 12 වැනිදා දක්වා කල් තැබීමට ද විනිසුරු මඬුල්ල විසින් නියෝග කෙරිණි.