December 5, 2024

ඇෆ්ගනිස්ථානයේ හෙදියන් සහ වින්නඹු මාතාවන් ලෙස පුහුණුව ලබන කාන්තාවන් සඳහා වන පුහුණු ආයතන වසාදමා ඇති බවට පළ වන වාර්තා උපුටා දක්වමින් සුප්‍රකට ඇෆ්ගනිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකු වන රෂීඩ් ඛාන් සහ මොහොමඩ් නබි තලේබාන් සංවිධානයට එරෙහිව හඬ නගා තිබේ.

තලේබාන් සංවිධානය මේ වන විටත් කාන්තාවන් සඳහා ද්විතීයික සහ උසස් අධ්‍යාපනය ලැබීම තහනම් කර ඇති අතර ඔවුන්ට ක්‍රීඩාවලට සහභාගී වීම ද තහනම් කර තිබේ.

“ඉස්ලාමීය ඉගැන්වීම් තුළ අධ්‍යාපනයට ප්‍රධාන ස්ථානයක් හිමි වන අතර, පිරිමි සහ ගැහැණු යන දෙඅංශයෙන්ම දැනුමෙන් සන්නද්ධ වීම අවධාරණය කරයි. අල් කුර්ආනය ඉගෙනීමේ වැදගත්කම ඉස්මතු කරන අතර, ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම සමාන අධ්‍යාත්මික වටිනාකම පිළිගනී” යනුවෙන් රෂීඩ් ඛාන් සිය Instagram ගිණුමෙහි සඳහන් කර ඇත.

“ඇෆ්ගනිස්ථානයේ සහෝදරියන් සහ මව්වරුන් සඳහා අධ්‍යාපනික හා වෛද්‍ය ආයතන මෑතදී වසාදැමීම ගැන මම සිහිපත් කරන්නේ දැඩි ශෝකයෙන් හා බලාපොරොත්තු සුන්වීමෙනි. මෙම තීරණය ඔවුන්ගේ අනාගතයට පමණක් නොව අපගේ සමාජයේ පුළුල් ව්‍යුහයට ද දැඩි ලෙස බලපා ඇත. ඔවුන් සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කරන වේදනාව සහ ශෝකය ඔවුන් මුහුණදෙන අරගල පිළිබඳ තියුණු මතක් කිරීමක් ලෙස දැකගත හැකියි’.

අපගේ ආදරණීය නිජබිම වන ඇෆ්ගනිස්ථානය තීරණාත්මක සන්ධිස්ථානයක සිටී. විශේෂයෙන්ම වෛද්‍ය ක්ෂේත්‍රයේ සෑම කොටසක්ම රටට අත්‍යාවශ්‍යයි. කාන්තා වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ උග්‍ර හිඟය විශේෂයෙන් සැලකිලිමත් වන්නේ එය කාන්තාවන්ගේ සෞඛ්‍ය හා ගෞරවයට සෘජුවම බලපාන බැවිනි. අපගේ සහෝදරියන්ට සහ මව්වරුන්ට ඔවුන්ගේ අවශ්‍යතා සැබවින්ම අවබෝධ කරගත් වෛද්‍ය වෘත්තිකයන් විසින් සපයනු ලබන රැකවරණය සඳහා ප්‍රවේශය තිබීම අත්‍යවශ්‍ය වේ.

ඇෆ්ගන් ගැහැණු ළමයින්ට ඔවුන්ගේ අධ්‍යාපන අයිතිය නැවත ලබාගැනීමට සහ රටේ සංවර්ධනයට දායකවීමට මෙම තීරණය නැවත සලකාබලන ලෙස මම අවංකවම ඉල්ලා සිටිමි. සැමට අධ්‍යාපනය ලබාදීම හුදෙක් සමාජ වගකීමක් පමණක් නොව, අපගේ ඇදහිල්ල සහ සාරධර්ම තුළ ගැඹුරින් මුල් බැසගත් සදාචාරමය වගකීමකි.” යනුවෙන් ද රෂීඩ් ඛාන් සිය Instagram ගිණුමෙහි සඳහන් කර ඇත.

මොහොමඩ් නබි සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සඳහන් කර තිබේ.

“වෛද්‍ය ක්ෂේත්‍රවල ගැහැණු ළමයින්ගේ අධ්‍යාපනයට වත්මන් රජය ද තහනමක් පනවා තිබීම සැබවින්ම අවාසනාවන්ත තත්ත්වයකි. පළමුව, ගැහැණු ළමයින්ට විශ්වවිද්‍යාල තහනම් කළ අතර, දැන් වෛද්‍ය ක්ෂේත්‍රවල අනාගතයක් ගොඩනැගීමට ඔවුන්ගේ අවසාන අවස්ථාව උදුරාගෙන ඇත. මේ තීරණය මේ දැරියන්ගේ අනාගතයට හානියක් පමණක් නොව මුළු රටටම ජාතියටම බලපානවා. රටකට දියුණු විය හැක්කේ එහි සියලුම පුරවැසියන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය ඇති විට සහ සමාජයේ කිසිදු කොටසක් අහිමි නොවන විට පමණි. අවාසනාවකට, තම ප්‍රජාවට සේවය කිරීමට වෛද්‍යවරුන් ලෙස පුහුණුව ලබමින් සිටි එම දැරියන්ගේ බලාපොරොත්තු සහ සිහින දැන් අහිමි වෙමින් පවතී. මෙම අසාධාරණ තීරණය හෙළාදකින අතරම, මෙම තීරණය පිළිබඳව බරපතල ලෙස නැවත සලකා බලන ලෙස රජයෙන් ගෞරවයෙන් හා නිහතමානීව ඉල්ලා සිටිමි. ඇෆ්ගනිස්ථානයට උගත් පිරිමින්ට අමතරව උගත් කාන්තාවන් අවශ්‍යයි. කරුණාකර මෙම තීරණය වෙනස් කර අපේ ගැහැණු ළමයින්ට ඉගෙනීමට ඉඩ දෙන්න!”

42.31%
17.27%
32.76%