April 16, 2025

මුදල් විශුද්ධිකරණය සහ මුදල් විශුද්ධිකරණයට ආධාර අනුබල දීම යන චෝදනා මත සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබී රුපියල් 5,745,000 ක මුදලක් ද සොයාගෙන තිබේ.

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමේ කොටසක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලීසිය පවසයි.

කිරුළපන පොලිස් වසමේ ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී සැකකටයුතු පුද්ගලයන් දෙදෙනකු හඳුනාගැනීමෙන් අනතුරුව පොලීසිය මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.

ඔවුන් කිරුළපන පොලිස් ස්ථානය වෙත රැගෙන ආ අතර එහිදී වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

සැකකරුවන් අවුරුදු 49 සහ 39 යන වයස්වල පසුවන කිරුළපන, සිද්ධාර්ථ පාරේ පදිංචිකරුවන් බව අනාවරණ වී තිබේ.

ඉන් එක් සැකකරුවකු එම ප්‍රදේශයේ ගෑස් අලෙවිසැලක හිමිකරුවෙකි.

ඔහු සහ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර සම්බන්ධකම් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරුට එම වරදට අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එම මුදල් හිමිවී ඇත්තේ මත්ද්‍රව්‍ය ආශ්‍රිත ක්‍රියාකාරකම්වලින්ද නැතිනම් සැකකරුගේ ව්‍යාපාරික කටයුතුවලින්ද යන්න සොයාබැලීම සඳහා කිරුළපන පොලිසිය අඛණ්ඩව පරීක්ෂණ පවත්වයි.